简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 12 – වැලිපර දූපත්

Content Image

උත්සහයේ ප්‍රතිඵල අතරතුර අනතුර

වනජීවින්ට තිබුනු කැමැත්ත නිසාම මම වනජීවි දෙපාර්තමේන්තුවට බැඳෙන්න තීරණය කලා. මට වාසනාව ලැබුනා 1999 දී පළමුවෙනි ශ්‍රේණියේ වන සත්ත්ව අඩවි ආරක්ෂක වරයෙක් විදිහට දෙපාර්තමේන්තුවේ දීප ව්‍යාප්ත තරඟ විභාගයකින් තේරී පත්වෙන්න.

මට වස්ගමුව, මාදුරුඔය, ගිරිතලේ, කවුඩුල්ල ජාතික උද්‍යානවල සේවයෙන් පස්සේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (ස්වාභාවික සම්පත්) විදිහට සේවය කරන්න උසස්වීමක් ලැබුණා. 2013 දී වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වුන මම 2015 දී ආපහු ලංකාවට ආවා.

මේ වෙනකොට දෙපාර්තමේන්තුවට සමුද්‍ර ඒකකයක් තිබුණේ නැහැ. රජයෙන් තීරණයක් ගත්තා දෙපාර්තමේන්තුව තුල සමූද්‍රය සම්බන්ධ ඒකකයක් හදන්න. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පැවරුනේ මට.

සමූද්‍ර ඒකකයක් හදන්න සැකැස්ම හදන එක ලොකු කාර්යයක්. මම මේක සිද්ධ කරන්නේ කොහොමද කියලා හොයලා බැලුවා. මේ සමිබන්ධ විශේෂඥයින් හා ආයතන කවුද කියලා සොයා බලලා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අවසරය මත මේ විශේෂඥයන් සහ ආයතන අතර සම්බන්ධතා ගොඩනැගුවා.

රාජ්‍ය ආයතන විදිහට ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA – National Aquatic Resources Research & Development Authority) , ජලජීවී සංවර්ධන අධිකාරිය (NAQDA – National Aquaculture Development Authority) , වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව (CCD – Coast Conservation and Coastal Resources Managing Department) , සමුද්‍ර පරිසර ආරක්ෂා කිරීමේ අධිකාරිය (MEPA – Marine Environment Protection Authority)  මේ කාර්යයට සම්බන්ධ වුණා.

රාජ්‍ය නොවන ආයතන විදිහට සම්බන්ධ වුණේ අන්තර්ජාතික ස්වභාව සංරක්ෂණ එකමුතුව (IUCN), කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල, සමුද්‍රීය විශ්ව විද්‍යාලය හා මුහුදු ඌරන් සහ මුහුදු පැලෑටි සංරක්ෂණ ව්‍යාපෘතිය යන ආයතනයි.

ඒ වගේම මේ ක්ෂේත්‍රයට අදාල ක්ෂේත්‍ර වල පරිණත පුද්ගලයන් හා විද්‍යාඥයන්ද සම්බන්ධ කරගත්තා. කොරල් සම්බන්ධයෙන් අජාන් රාජසූරිය මහතාද කැස්බෑවුන් සම්බන්ධයෙන් ආචාර්ය ලලිත් ඒකනායක, තුෂාන් කපුරුසිංහ මහතුන් ද මුහුදු ක්ෂීරපායීන් සම්බන්ධව රනිල් සේනානායක මහතාද තල්මසුන් සම්බන්ධව ආචාර්ය ආශා ඩිවෝස් මහත්මිය ද මෝරුන් සම්බන්ධව නිල් සම්පත් අරමුදලෙහි (Blue Resources Trust)ඩැනියෙල් මහතා ද සම්බන්ධ වුණා.

නාරා ආයතනයේ ආචාර්ය ශිහාන්, IUCNආයතනයෙන් ආචාර්ය ආනන්දමල්ලවතන්ත්‍රි, වීසා ආයතනයෙන් ආචාර්ය වර්නිප්‍රදීප් නිරතුරුව සම්බන්ධ වුනා. ඒ වගේම නාවුක හමුදාවේ කොමදෝරු පියල් ද සිල්වා මහතා අපට විශේෂ සහයෝගයක් දුන්නා. නාවුක හමුදාවත් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂකවරුනුත් අපට නිරතුරුවම උදව් වුනා. ඒ කාලයේ හිටපු ඇමතිතුමා මට නියෝගයක් දුන්නා මේ සැලැස්ම 2017 වෙනකොට දියත් කරන්න ඕනෑ කියලා.

සමුද්‍රිය සංරක්ෂණය අපි කොටස් කිහිපයක් යටතේ වැඩිදුර විශ්ලේෂණය කළා. මුහුදු ක්ෂීරපායි විශේෂ, කැස්බෑවුන්, කොරල් පර හා ඒ ආශ්‍රිත මසුන්, කඩොලාන, මුහුදු ඌරන් මුහුදු පැළෑටි මෙන්ම මුහුදු සංචාරක කර්මාන්තය ද අපි අධ්‍යයනයට ලක්කලා.උදේ සිට රෑ වන තුරු විවිධ රැස්වීම්, ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කළා.

මෙතැනදී සමුදුරු සංරක්ෂණය කළ යුතු පෙදෙස් හඳුනාගන්න අපිට අවශ්‍ය වුණා. මේ වනකොට උතුරු පළාතේ ඩෙල්ෆ්ට් ප්‍රදේශය වනජීවී උද්‍යානයක් විදිහට ප්‍රකාශයට පත් කරලයි තිබුණේ.

මඩකලපුවේ පාසිකුඩාවලට උඩින් පිහිටි කායන්කාර්නි ප්‍රදේශය හා ලංකාවේ දකුණේ යාල රක්ෂිතයට ආසන්න සමුදුරේකුඩා රාවණා සහ මහා රාවණා පර විශේෂයෙන් සංරක්ෂණය කළ යුතු සමුදුරු පරිසර විදිහට අපට හඳුනා ගන්න  පුළුවන් වුණා.

2019.04.11 දින කායන්කාර්නි ප්‍රදේශයත් 2019.10.11 දින මහ රාවණා කුඩා රාවණා පරත් ගැසට් මගින් සමුදුරු අභය භූමින් විදිහට නීතිගත කරන්නට අපට හැකි වුණා.ඒ අනුව කායන්කාර්නි ප්‍රදේශයේ හෙක්ටයාර 953 ක් හා කුඩා රාවණා මහා රාවණ පර වල හෙක්ටයාර 67,282.3 ක් සමුදුරු අභය භූමි බවට පත්වුණා.

මුහුදු ඌරන් හා මුහුදු පැළෑටි සංරක්ෂණය යටතේ මන්නාරම කල්පිටිය ඉඳල පේදුරුතුඩුව දක්වා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුනා ගත්තා.

මේ ව්‍යාපෘතියේ දී අපට නිරතුරුවම හඳුනාගන්නට යෝඡිත ප්‍රදේශ වල සංචාරය කරන්නට සිදු වුණා. ක්ෂේත්‍ර චාරිකාවලදී පිහිනන්න කිමිදෙන්න අවශ්‍යයි. ලංකාවේ හිටිය දක්ෂ කිමිදුම්කරුවකු වන අජාන් රාජසූරිය මහතා මට මනා පුහුණුවක් ලබා දුන්නා. විවිධ අත්දැකීම් ලැබුණා.

දිනක් අපි කල්පිටියේ මහා පර ප්‍රදේශයට ගියා. මහා පරය තියෙන්නේ මුහුදු පතුලේ කිලෝමීටර 2 – 3 ක් ඇතුලට වැලි පිරුණු භූමියක. 2018 – 2019 අවුරුදුවල ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා මහා පර ප්‍රදේශය ගොඩක් කොරල්පර විනාශ වුණා. සමහර තැන්වල සම්පූර්ණයෙන්ම විනාශ වුණා. දිය වැල් නිසා හා ධීවර ආම්පන්න වැදීම නිසා කොරල් ව්‍යුහයන් පවා කැඩී ගොස් තිබුණා. අපට මෙය නැවත සංරක්ෂණය කරන්න අවශ්‍ය වුණා

මේ සඳහා නාවුක හමුදාව සහ සමුද්‍ර ජීව විද්‍යාඥයෙක් වන ප්‍රසන්න වීරක්කොඩි මහතා ද සහායට පැමිණියා. මහා පරයේකොරල්විනාශ වුණු තැන් හා නැවත හැදීගෙන එන තැන් අපි හඳුනාගත්තා. හඳුනාගත් ප්‍රදේශ දෙකකට ධීවරයින්ට යන්න නොදී ආරක්ෂාකරන්න සමුද්‍රීය අංශය මගින් බෝයවල් දැමුවා. කල්පිටිය ප්‍රදේශයේ සමුද්‍ර සංචාරක ව්‍යාපාරයේ නිරත වී ඉන්න අයත් ජාතික ජල සම්පත් පර්යේෂණ ආයතනයේ වෙරළ ආරක්ෂක නියාමකවරුත් මෙයට එකතු වුණා.

දවසක් අපි කණ්ඩායමක්ම ගියා මහා පරයට. එදා මුහුද නිශ්චලයි. බෝට්ටු දෙකකින් ගියේ.

අජාන් රාජසූරිය මහත්තයා බෝට්ටුවෙන් බැහැලා පාවෙලා යනවා වගේ දැක්කා. ඊළඟට මමයි බැස්සේ.ස්නෝකල්හා වරල් දාගෙන වතුරට පැන්නා. වම් කකුලේ මගෙ සන්ධියේ තියෙනවා සන්ධිය ලඟින් කකුල පනින ප්‍රශ්නයක්. වතුරට බහිනවත් එක්කම ඒක සිද්ධ වුණා. තද වේදනාවක් ආවා. මම වතුර පෘෂ්ඨයට සමාන්තරව ඉන්න ගමන් පැනපු සන්ධිය ආපසු හදන්න ගත්තා.

මේත් එක්කම මාව බෝට්ටුවෙන් ඈතට ඇදිල ගියා. වතුර උඩින් නිශ්චලව තිබුනට යටින් දියවැල්. මේ විදිහට විනාඩි දහයක් පහලවක් විතර මාව ඇදිලා ගියා. පස්සෙ මම අමාරුවෙන් කකුල හදාගෙන දියවැල් යන ප්‍රදේශය වෙනස් කරගත්තා. මේ අවස්ථවේදී කකුල හදාගන්න බැරිවුණා නම් මට මොනවා වෙයිද හිතාගන්න අමාරුයි.

ජීවිතයේ අමතක නොවන සිදුවීම් වලට මුහුණ දුන්නත් අපේ ව්‍යාපෘති සාර්ථක වීම ගැන මට හරි සන්තෝසයි. මහ පරයෙත් දැන් හොඳට කොරල් හැදිලා තියෙනවා.

චන්න සුරවීර මහතා

 

1999 දී 1 වන ශ්‍රේණියේ වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියෙකු ලෙස දීප ව්‍යාප්ත තරඟ විභාගයකින් තේරී පත්ව වනජීවි දෙපාර්තමේන්තුවට බැඳුනු සුරවීර මහතා එයට පෙර ගුරුවරයෙකු ලෙස සේවය කලේය. වස්ගමුව වනෝද්‍යානය පළමු පත්වීම ලැබු ඔහු දෙවනුව මාදුරු ඔය ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙසද ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ සම්පත් දායකයෙකු ලෙසින් ද අනතුරුව 2011 වසරේදී කොළඹ ප්‍රධාන කාර්යාලයේ ස්වාභාවික සම්පත් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයාලෙස ද සේවය කලේය.

මේ අතරතුර කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වනජීවි කලමණාකරනය පිළිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් ද ඉන්දියාවේ ජාතික වනජීවි ආයතනයේ මාසයක පුහුණු පාඨමාලාවක් ද ඉන්දියාවේ ජාතික වනජීවි ආයතනයේ මාසයක පුහුණු පාඨමාලාව ද හැදෑරු සුරවීර මහතා 2013 සිට 2015 දක්වා කාලයේ දී චෙක් ජනරජයේ Forestry Water and Landscape Management විද්‍යාපති උපාධිය හැදැරීමට තෝරා ගැනින. 

එහිදී සුරවීර මහතා විසින් දැක්වූ පර්යේෂණාත්මක දක්ෂතාවයන් හා හොඳම ප්‍රතිඵල නිසා චෙක් ජනරජය විසින් ආචාර්ය උපාධියක් හැදැරීමට ඔහුට අවස්ථාවක් ලබා දී ඇත. 2015 වසරේ සිට සමුද්‍රීය අංශය ස්ථාපනය කිරීමේ දි එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් 2017 වසරේ දී එය අවසන් කිරීමට ඔහුට හැකිවිය. චන්න සුරවීර මහතාගේ බිරිඳ ගුරුවරියක වන අතර ඔවුනට දරුවන් තිදෙනෙකි. දරුවන් තිදෙනාම තවම පාසැල් යන වයසේය. ඔහුගේ ලිපිනය 28 ඩී, වල්පිටමුල්ල, දෙපලපොල, කුරුණෑගල.

වැලිපර දූපත්

කොරල්පර පෘථිවියේ පිහිටි වඩාත්ම ජීව විද්‍යාත්මකව විවිධ වූත් ඵලදායීවූත් පරිසර පද්ධතියක් වන අතර එය මුහුදේ ඇති වැසි වනාන්තර ලෙස හැදින්වේ.  දේදුන්නක් වැනි වු  සංකීර්ණ හැඩයන්ගෙන් යුත්  සාගර ජීවීන්ගෙන් සමන්විත වු  කොරල්පර දිය යට උද්‍යාන වැනිය.කොරල්පර මගින් ආවරණය කළ හැක්කේ සාගර පත්ලේ කුඩා ප්‍රතිශතයක් පමණක් වන නමුත් ඒ තුල ලෝකයේ සාගර ජීවීන්ගෙන් සියයට 25ක් පමණ වාසය කරති. 

                                                                                                                      ඝනට වැඩුණු Staghorn coral

‘මුහුදේ වැසි වනාන්තර’ ලෙස හැඳින්වෙන කොරල් පර යනු කොරල් බුහුබාවා (Polyps) නම් කුඩා ජීවීන්ගේ ජනපද විසින් ගොඩනගා ඇති දිය යට පරිසර පද්ධතියකි. මෙම කොරල් බුහුබාවා ඔවුන්ගේ සියුම් ව්‍යුහයන් ආරක්ෂා කිරීම සඳහා නොගැඹුරු වෙරළබඩ ජලයේ මුහුදු පතුල මත හුණුගල් බාහිර ඇටසැකිල්ලක්  ක්‍රමාණුකූලව සෙමින්සාදයි. එකම විශේෂයේ කොරල් බුහුබාවන් දහස් ගණනක් එක්ව කොරල් ජනපදයක් සාදන අතර, එය කොරල් පරයක් බවට පත්වන විට විවිධ කොරල් බුහුබාවන් විශේෂ ගණනාවක කොරල් ජනපද රාශියක එකතුවකි. බොහෝ කොරල් පරයන්හි කොරල් බුහුබාවන්ගේ පටකවල ජීවත් වන සූසැන්තෙල්ලේ (Zooxanthellae) නම් ප්‍රභාසංස්ලේෂක ඇල්ගී අඩංගු වේ. කොරල් බුහුබාවන් සහ ඇල්ගී අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇත. කොරල් ඇල්ගී වලට සුදුසු පරිසරයක් සහ ප්‍රභාසංස්ලේෂණය සඳහා අවශ්‍ය සංයෝග සපයනු ලබයි. ඇල්ගී විසින් බුහුබාවන්ට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නිපදවන අතර අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. කොරල් බුහුබාවන් සාගරයේ ඔක්සිජන් නිපදවන විශාලතම නිෂ්පාදකයන්ගෙන් එක් කොටසකි.

                                                                                                          Pocilloporadamicornis හම්බන්තොට

කොරල්පර විවිධ හැඩයන්, ප්‍රමාණවලින් සහ වර්ණවලින් යුක්තවන අතර කොරල් වර්ග දෙකක් තිබේ. ඒවා මෘදු කොරල් (Softcorals)සහ දැඩි හෝ ගල් සහිත කොරල් (Hard or strong corals) වේ. ශ්‍රී ලංකාවේ කොරල්පර, වටකුරු ගල්පර (Frnging reefs), ලප ගල්පර (Patchy reefs), වැලිගල් පර (Sandstone reefs) සහ පාෂාණමය පර (Rocky reefs) ලෙස වර්ගීකරණය කර ඇත.  ශ්‍රී ලංකාවේ කොරල්පර සාමාන්‍යයෙන් මුහුදු වෙරළට දුරින් පිහිටා ඇති පරය (Off shore reefs). සැබෑ බාධක පර  (True barrier reefs) ශ්‍රී ලංකාවේ නොමැති බැවින් මේවා වෙරළට ආසන්නව ඇති ගල්පර ලෙස සැලකේ. ඒවා එකිනෙකට වෙනස් වාසස්ථාන වලසෑදුනත්මිශ්‍රවද පිහිටයි.

සියවස් ගණනාවක් පුරා රාජකීය වරායක් ලෙස ඉතිහාසයක් ඇති, ඉන්දියානු  සාගරයේ කැපී පෙනෙන සමුද්‍ර පද්ධතියක් වු වැලිපර දූපත් (Bar Reef) ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ සහ විශාලතම කොරල්පරය වේ.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බල සීමාව යටතේ 1992 වර්ෂයේදි සමුද්‍ර අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මෙය වර්ග කිලෝමීටර් 306.7 (වර්ග සැතපුම් 118.4)  පුරා විහිදී ඇති නොගැඹුරු කොරල්පර, මුහුදු තණබිම්, සහ ගැඹුරු වැලිපර වලින් සමන්විත වූවකි.  මෙම වැලිපර සමුද්‍ර අභය භූමිය (Bar reefsanctuary) වෙරළේ සිට කිලෝමීටර් කිහිපයක් මුහුද දෙසට වන්නට මුහුද මැද පිහිටි ප්‍රදේශයක් වන අතර මෙය කල්පිටිය  අර්ධද්වීපයේ උතුරු කෙළවරේ සිට මන්නාරම් බොක්කෙන් පෘතුගාල බොක්ක වෙන් කරන දූපත් දක්වා වෙරළට සමාන්තරව විහිදෙන ගල්පර සංකීර්ණයකි . මෙය උතුරු ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ, යාපනය ප්‍රදේශයට ආසන්නව පිහිටා ඇති ඉහළ පාරිසරික, ජීව විද්‍යාත්මක හා සෞන්දර්යාත්මක වැදගත්කමක් ඇති කොරල් විශේෂ 156 ක් සහ මත්ස්‍ය විශේෂ 283 ක්  පමණ වාසය කරන ප්‍රදේශයකි. කල්පිටියේ,වැලිපර සමුද්‍ර අභයභූමිය (N8° 22.57′ E79° 44.35′), මීටර් 3 ක් දක්වා ගැඹුර වුශ්‍රී ලංකාවේ විවිධ සාගර වාසස්ථාන ඇතුළත් එකම සමුද්‍රීය ආරක්ෂිත ප්‍රදේශයන් (Marine Protected Areas) වේ.වැලිපර සමුද්‍ර අභයභූමිය, කල්පිටිය අර්ධද්වීපයේ උතුරු කොටස, මුට්වාල් අර්ධද්වීපය සහ කාරෙයිතිව් දූපත් ආවරණය කරයි. එය නැගෙනහිර-බටහිර දෙසින් කන්දකුලි ධීවර වරාය දක්වා දිවෙන මාර්ගයට උතුරින් ග්‍රාම සේවක (GS – ග්‍රාම නිලධාරි) වසම් 11 කින් (ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන අංශය) සමන්විත වේ. දිවයිනේ සමුද්‍ර ආරක්‍ෂිත ප්‍රදේශ හතර තුළ ඇති ගල්පර ලෙසහික්කඩුව සමුද්‍ර ජාතික වනෝද්‍යානය, පරෙවි දූපත සමුද්‍ර උද්‍යානය, වැලිපරසමුද්‍ර අභයභූමිය සහ රූමස්සල සමුද්‍ර අභයභූමිය යන ප්‍රදේශ හදුනා ගත හැක.

Montiporaaequituberculata - හම්බන්තොට
Corralimopharia- පරෙවි දූපත මැරුණු කොරල්පර හා ගල් උඩ වැවේ.

කල්පිටියේ වැලිපර කොරල්පරය විශාලතම ලප ගල්පර කොරල්පරය වේ. අපේ දිවයිනේ වෙරළ තීරයද බොහෝ කොරල්පරවලින් වටවී ඇත. කල්පිටියේ කොරල්පරය ශ්‍රී ලංකාවේ විශාලතම ගල්පර පද්ධතිය වීමත් සමඟ – අපේ රටේ සමුද්‍ර ජෛව විවිධත්වය සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.

Coral colanies- පරෙවි දූපත

කොරල්පර යනු නැරඹීම රසවින්දනයෙන් යුත් විනෝදාත්මක වටිනාකමක් ලබා දෙන සුන්දර ස්ථානයන්ය. කල්පිටියේ සිට පැයක පමණ බෝට්ටු සවාරියකින් පසු,  කිලෝමීටර් 300 ක් දිග වැලිපරසමුද්‍ර අභයභූමියනම් ශ්‍රී ලංකාවේ විශාලතම ආරක්ෂිත සමුද්‍ර ප්‍රදේශය වෙත ළඟා විය හැකිය.වැලිපර සමුද්‍ර අභයභූමියේ සංචාරය කිරීමට කිමිදීම හෝ විදුරු පතුලක් සහිත බෝට්ටුවක් (Glass Bottom) භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.  පතුල වීදුරුවලින් සමන්විත බෝට්ටු වලින් කොරල්පර පමණක් නොව නොයෙක් විසිතුරු මත්ස්‍යයින්ද කොරල්පර අතරින් පිහිනා යන අලංකාරය නැරඹිය හැකිය.නොගැඹුරු කොරල්පර සහ මත්ස්‍ය ජීවීන් නැරඹීමට හොඳම ක්‍රමය ස්නෝකලිංය (Snokeling). ස්නෝකලිං නිර්දේශ කරනුයේද හොඳ පිහිණුම් හැකියාවක් ඇති අයට පමණි. ඔක්තෝබර් අග සිට අප්‍රේල් මැද දක්වා ඊසානදිග මෝසම් සමයේදී වැලිපර වෙත ප්‍රවේශ විය හැකි නමුත්දෙසැම්බර් සහ ජනවාරි මුල තද සුළං ඇති විය හැකි අතර බෝට්ටු සවාරියේ දී එය තරමක් ගැටලු සහිත විය හැකිය. සංචාරය කිරීමට හොඳම කාලය පෙබරවාරි සහ මාර්තු වේ, සැහැල්ලු සුළං නිසා නිශ්චල මුහුද සහ හොඳ දිය යට පාරදෘශ්‍යතාව ඇති වේ. වෙළඳ සුළං දහවල්  වැඩි වන බැවින් උදෑසනම එහි යාමට උත්සාහ කිරීම වඩාත් සුදුසු වේ . 

                                                                              Faviaspeciosa  -මෝල්ඩිවා බෑන්ක්, වෙඩිතලතීව් ප්‍රදේශයට නුදුරුව පිහිටා ඇත.

ශ්‍රී ලංකාව වටා ඇති කොරල්පරවල වර්ධනයට ප්‍රධාන වශයෙන් මෝසම් කාළගුණය බලපාන අතර නිරිත දිග මෝසම් සමයේදි වෙරළබඩ ජලයේ කැළඹිලි ස්වභාවය වැඩි වීම කොරල්පර වර්ධනයට ද බාධාවක් වේ.ශ්‍රීලංකාවේ ගල්පර සියල්ලම පාහේ වෙරළේ සිට කිලෝමීටර් 40ක් ඇතුළත පිහිටා ඇති අතර ඒවා මුහුදු මත්ස්‍ය නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් සපයයි.විවිධත්වයෙන් යුත් සාගර ජීවීන්ගේ සැපපහසු වාසස්ථාන නිර්මාණය කරන මෙවැනි  ගල්පර, වාණිජමය වශයෙන් වැදගත් වන කටු පොකිරිස්සන්, ඉස්සන් සහ කකුළුවන් ඇතුළු අපෘෂ්ඨවංශීන් විශේෂ රැසකට ද මුහුදු තෘණ සහ ඇල්ගී වැනි සමුද්‍ර වෘක්ෂලතා විශේෂ රැසකට ද නිජබිම් වේ. තවද  ඩොල්ෆින්, තල්මසුන්, මෝරුන් සහ මුහුදු කැස්බෑවන් ද වෙරළාසන්න සහ මුහුදේ ගල්පර අතර දක්නට ලැබේන අතර සමනල මත්ස්‍ය විශේෂ කිහිපයක්ද වාර්තා වී ඇත.

Porites species - මෝල්ඩිවා බෑන්ක්
Staghorn coral (Acropora Formosa)

සීමිත මිනිස් ජනගහණය සහ ප්‍රදේශයේ සීමිත මසුන් ඇල්ලීම හේතුවෙන් වසර ගණනාවක්වැලිපර සමුද්‍ර අභයභූමිය ඉතා පෞරාණික තත්වයක පැවතුනත්  වර්තමානයේ වෙරළ ආසන්නයේ පිහිටි ගල්පර බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස හානි වී ඇත.  ප්‍රධාන වශයෙන්  මුහුදේ කොරල්පර කැණීම, විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම, ධීවර ආම්පන්න වැදීම සහ ගල්පර සම්පත් පාලනයකින් තොරව අස්වනු නෙලීම ආදිය සමුද්‍ර පරිසරයේ සමස්ත පරිහානියට හේතු වී ඇත. 2018-2019 අවුරුදුවල ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසාද වැලිපරසමුද්‍ර අභයභූමිය ප්‍රදේශයෙහි බොහෝ කොරල්පර විනාශ විය.

Symphyllia radians - මෝල්ඩිවා බෑන්ක්

ශ්‍රී ලංකාව තුළ සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය වී ඇත්තේ සියවසකටත් පෙරය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හරහා සියලුම කොරල් විශේෂ ආරක්ෂා කර ඇත . මෙහිදි මුහුදු ඌරන් හා මුහුදු තෘණ සංරක්ෂණය ව්‍යාපෘතිය යටතේ පුත්තලම , කල්පිටිය  සිට  මන්නාරම ඔස්සේ පේදුරුතුඩුව දක්වා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇත. වෙරළ සංරක්ෂණ පනත යටතේ කොරල්පර වාසස්ථාන ද ආරක්ෂා කර ඇති නමුත්, මධ්‍යන්‍ය පහත් ජල රේඛාවේ (MLWL) මුහුද දෙසට කිලෝමීටර 2 ක් ඇතුළත වෙරළබඩ ජලයට සීමා වේ. කොරල්පර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් ජාතික උද්‍යාන සහ අභයභූමි ලෙස නම් කර ඇත.  දිවයිනේ සමුද්‍ර ආරක්‍ෂිත ප්‍රදේශ හතර තුළ ඇති ගල්පර ලෙස හික්කඩුව ජාතික උද්‍යානය, පරෙවි දූපත ජාතික උද්‍යානය, බාර් රීෆ් සමුද්‍ර අභයභූමිය සහ රූමස්සල සමුද්‍ර අභයභූමිය යන ප්‍රදේශ හදුනා ගත හැක. මීට අමතරව 2019 .04. 11 දින හෙක්ටයාර් 953 කින් යුතු කායන්කර්නි ප්‍රදේශයත් 2019.10.11 දින හෙක්ටයාර 67,282.3 කින් යුත්  කුඩා රාවණ මහා රාවණ ප්‍රදීපාගාර අතර පිහිටි කොරල්පරත් ගැසට් මගින් සමුදුරු අභය භූමීන් ලෙස ප්‍රකාශයට පත් කර නීති ගත කර ඇත.

1999 දී ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාවේ වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියක් (CRMP) ආරම්භ කර වෙරළබඩ සම්පත්වල තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ කළමණාකරණයක් ස්ථාපිත කෙරීනි. එමගින් වෙරළ ඛාදනය, පරිසර දූෂණය, කළමනාකාරීත්වයකින් තොරව මසුන් ඇල්ලීම, සම්පත් අධික ලෙස සූරාකෑම සහ වෙරළබඩ ප්‍රදේශවල දිළිඳුකම යන ගැටලුවලට විසඳුම් ලබා දීම සිදුවිය. එමෙන්ම මෙම කලාපය සඳහා තිරසාර සංවර්ධන සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා ක්ෂේත්‍ර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකයක් (FPIU) කන්දකුලියේ පිහිටුවන ලදී.

අප්‍රමාදීව, වැසිවනාන්තර වලටත් වඩා දූර්ලභ වූ මෙවැනි අගනා ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනිම අප කාගේත් යුතුකමවිය යුතුය.

                                                                                                               Staghorn coral (Acroporaformosa)-පරෙවි දූපත

 

උපුටා ගැනීම

Wikipedia

Travel Lanka

Current Status And Resource

Serendib

Springer Link

Time out

SARID

Sri Lanka’s Amazing  Maritime

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව         

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- චන්න සුරවීර