简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 21 – ගල්ඔය ජාතික උද්‍යානය

Content Image

බේරගත්ත අලි පැටියා

මට මතක හැටියට මේ සිද්ධිය වුනේ 2008 අවුරුද්දේ. මම එතකොට රාජකාරි කළේ පශු වෛද්‍යවරයෙක් හැටියට වනජීවී දෙපාර්තමේන්තුවේ නැගෙනහිර ප්‍රදේශයේ. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ. යුද්ධය තිබුණා. මිනිස්සු අතරේ තුවක්කු තිබුණා. දඩයම් වැඩියි. අලින්ටත් වෙඩි වැදුණු සිද්ධි තිබුණා. අම්පාර පැත්තේ අලි නැගෙනහිර පලාත පුරාම ඇවිදිනවා.  අලි රංචු අපිට නිතර හමුවෙනවා.

මේ කියන අලි පැටවාගේ කකුලටයි පිට පැත්තටයි වෙඩි වැදිලා තිබුණා. අලි පැටියාගේ වයස අවුරුදු 8ක් විතර ඇති. මේ අලි රංචුව හිටියේ ගල්ඔය ජාතික උද්‍යානයේ. අපිට පණිවුඩය ලැබෙන විට වෙඩි වැදුන අලි පැටවා ආසන්න දුපතක රැඳිලා හිටියා. මේ වගේ දුපත් වලට අලි රංචු කෑම සොයා ගෙන යනවා. වතුර මට්ටමට අඩු වෙනකොට දූපතේ වතුරට යටවෙලා තියෙන කොටසේ තණකොළ හැදෙනවා. තණකොළ කාලා ඉවර වෙලා අලි රංචු ආපහු උද්‍යානයට පීනනවා. අලි රංචු යන එන බව ධීවරයන් දන්නවා. ඒ කාලෙට ඒගොල්ලන් දුපතේ වාඩි ගහන්නේ නෑ. අලි පැටවා රැඳිලා හිටපු දුපත ඒ වෙලාවේ වතුර මට්ටමට අනුව අක්කර 10ක විතර දුපතක්. මේ දුපත සම්පුර්ණයෙන්ම ජලයෙන් යට නොවන දුපතක්. මැද ඝන වනාන්තරය. වටේට පිට්ටනිය. තණකොළ කන්න රංචුවක් එක්ක ආවාට පස්සේ තුවාල නිසා ආපහු රංචුවක් එක්ක පීනන්න බැරි වෙලා පැටවා දූපතේ තනි වෙලා.

අලි පැටවා ගැන ධීවරයන් ගල්ඔය ජාතික උද්‍යානයේ කාර්ය මණ්ඩලය දැනුවත් කළා. ගල්ඔය උද්‍යානයෙන් අපිව දැනුවත් කළා. ඒ වෙලාවේ ගල්ඔය උද්‍යාන භාරකරු බුද්ධික විතානගේ. මගේත් පාසල් මිත්‍රයෙක්. බුද්ධික මහත්මයා අපට උදව් කළා බෝට්ටු හා අවශ්‍ය දේ දීලා අලි පැටියාට බෙහෙත් කරන්න යන්න. අමතර කාර්ය මණ්ඩලයත් ලබා දුන්නා.

එතකොට මම ඇවිත් අවුරුදු 4ක් විතරයි ගතවෙලා තිබුනේ. අත්දැකීම් අඩුයි. දුපතක ඉන්න අලියෙකුට බෙහෙත් කරන්න මට ලැබුණු පළමුවෙනි අවස්ථාව. මගේ කාර්ය මණ්ඩලය හිටියා. වනජීවී අඩවි සහකාර ලෝරන්ස් බෙන්ජමින්, වනසත්ව නියාමක සුගත් ජයතිලක, වන අඩවි සහකාර චමිල් ප්‍රසාද්, දැන් නියාමකවරයෙක් වන සඳුන් හේමනායක හා රියදුරු කරුණාරත්න යන අය. මේ රියදුරු මහත්මයාත් නිතර බෙහෙත් කරන වැඩවලට සම්බන්ධ වෙනවා.

බෝට්ටුවෙන් ගිහින් දුපතේ ඉන්න අලිපැටියාට බෙහෙත් කරන එක අපිට අභියෝගයක් වුනා. හවස 3.00ට විතර අලියා පිට්ටනියට එනවා. අපි සේරම බෝට්ටුවෙන් අලියාට බෙහෙත් කරන්න යන්න පිටත් වුනා. එතැන 10දෙනෙක් විතර හිටියා. අපි බෝට්ටුවේ ඉඳලා දුරදක්නයෙන් බැලුවා. පැයකට විතර පස්සේ අලියා පිට්ටනියට ආවා. අපිට ඕන වුනා බෝට්ටුවේ ඉඳලම නිර්වින්දන බෙහෙත් විඳින්න. බෝට්ටුව ලං වුනොත් අලියා කැලයට යනවා. අපේ ලෝරන්ස් බෙන්ජමින් බෝට්ටුවේ ඉඳලම අලියට බෙහෙත ගහන්න දක්ෂ වුනා.

බෙහෙත විද්දට පස්සේ අපි බෝට්ටුවෙන් බැහැලා අලි පැටවාගේ අඩි සළකුණු පස්සේ හෙමින් හෙමින් ඉස්සරහට ගියා. අපිට හම්බ වුනා ගහකට හේත්තු වෙලා අඩ සිහියෙන් ඉන්න අලි පැටවා.

ගල්ඔය උද්‍යානයේ අපි සමඟ සිටි කාර්ය මණ්ඩලයට මේ දර්ශනය පුදුමයක් වුනා. හිටගෙන නිදාගන්න අලියෙක් ඔවුන් දැක තිබුනේ නෑ. අලියාත් අපිත් අතර දුර අඩි 8ක් විතර තියෙද්දී අපි ප්‍රතිජීවක ඖෂධ විද්දා. අලි පැටවා හොඳටම නිදාගත්තට පස්සේ අපි තුවාල ශුද්ධ කරලා බෙහෙත් කළා. ඉස්සරහ පැත්තේ කකුලේ ඇතුළු පැත්තේ තුවාලයක් තිබුණා. අපේ සුගත් ජයතිලක මම එපා කියද්දීම අලියාගේ කකුල් අතරට ගිහින් තුවාලේ ශුද්ධ කළා. සැරව එහෙම අයින් කරලා තුවාල ශුද්ධ කළාට පස්සේ කට්ටියටම හරි සතුටුයි. අලි පැටවාට සිහිය එන බෙහෙත් ගහලා අපි බෝට්ටුවට ඇවිත් බලා හිටියා. ටික වෙලාවකට පස්සේ අලි පැටවා වැව් පිටියට ආවා.

ඊට පස්සේ අවස්ථා කිහිපයකදීම අපි අලි පැටවාට බෙහෙත් කලා. නිර්වින්දනය කරන්න උවමනා වුනේ නෑ. ගොඩක් තුවාල වෙන අලි මැරෙනවා. මේ අලි පැටවා සුවවෙනවා අපි දුටුවා. අලි පැටවා ක්‍රමයෙන් මහත් වුනා. පස්සේ ධීවරයෝ කිව්වා අලි පැටවා පීනලා දූපතෙන් ගියා කියලා.

අලි පැටවාගේ ජීවිතය බේරගන්න ලැබීමත්, ඒ අභියෝගයත් හිතට සතුටක් ගෙන දෙන අමතක නොවන මතකයක්.

 

ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතා

ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතා වනජීවී දෙපාර්තමේන්තුවට ඍජුව බැදුණු පශු වෛද්‍යවරයෙකි. වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමට පෙර පෞද්ගලික ස්ථානයක සේවය කළ ඔහු ලැබුණු සියළු ආර්ථික වාසි පසෙකලා වනජීවී දෙපාර්තමේන්තුවට බැදුනේ වන සතුන්ට ඇති ආදරය නිසාය.

පශු වෛද්‍ය දේව සුරේන්ද්‍ර මහතා පළමු පත්වීම ලැබුණේ උඩවලව ඇති අතුරු සෙවණටය. 2005 වසරේ සිට 2006 වසර දක්වා ඔහු උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතා හා සමඟ සේවය කළේය. එහෙත් අම්පාර නගරයේ වන අලියෙකු විසින් පුද්ගලයෙකු මරා දැමීමේ සිද්ධියක් සමඟ විෂය භාර අමාත්‍යවරයා විසින් ඔහු අම්පාරට කැඳවන ලද අතර එතැන් සිට 2013 වසර දක්වා ඔහු සේවය කළේ අම්පාර දිස්ත්‍රික්කයේය. 2013 වසර සිට මේ දක්වාම ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවය කරනු ලැබේ.

උපාධියට අමතරව පශු වෛද්‍ය දේව සුරේන්ද්‍ර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පරිසර විද්‍යාව සම්බන්ධ ශාස්ත්‍රපති උපාධියක්ද හැදෑරුවේය. ඔහු ඇමෙරිකාවේදී හා ටැන්සානියාවේදී කෙටි පුහුණු පාඨමාලා හදාරා ඇත.

පශු වෛද්‍ය දේව සුරේන්ද්‍ර මහතා ගත් කතුවරයෙකු ද වේ. වන සතුන්ට වෙදකම් කළ 13 වසරක් හා වන අලීන්ට කළ වෙදකම් යන කෘති දෙක ඔහු විසින් එළි දැක්වුයේ 2018 වසරේදීය.

දේව සුරේන්ද්‍ර මහතාගේ ප්‍රිය බිරිඳ ශ්‍රියානි මංගලිකාද පශු වෛද්‍යවරයෙකි. ඇය නිවසේ සත්ව සායනයක් පවත්වා ගෙන යන්නීය. ලොකු පුත් කුසල් හා පොඩි පුත් මිස්සක පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ උගනිනි.

ඔවුන්ගේ ලිපිනය 14/5, මකුළු දුව, පිළියන්දල

ගල්ඔය ජාතික උද්‍යානය

වෙනත් උද්‍යානයන්ට වඩා නිසංසල පරිසරයක පිහිටා ඇති ගල්ඔය ජාතික උද්‍යානය  වනසතුන්ට මෙන්ම සංචාරකයින් හටද නිදහසේ සැරිසැරිය හැකි අපූර්ව වු භුමි භාගයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආග්‍රාමාත්‍යවරයා ලෙස පත් වු ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් 1949-1950 අතර කාලයේ දි ආරම්භ කරන ලද ගල්ඔය බහුකාර්ය වාරි යෝජනා ක්‍රමය යටතේ  ගල්ඔය හරස් කරගනිමින්  පිහිටුවාගත් ජලාශය සේනානායක සමුද්‍රය නම් විය.සේනානායක සමුද්‍රය ඉදිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජලාශයේ ආසන්න ජලාධාර ප්‍රදේශයේ හෙක්ටයාර් 25900ක් තරම්වු  භුමි ප්‍රමාණයක් 1954 පෙබරවාරි 12 වැනි දිනගල්ඔය ජාතික උද්‍යානය වශයෙන් ප්‍රකාශිත විය. මෙම උද්‍යානය දිවයිනේ නැගෙනහිර ප්‍රදේශයේ මොණරාගල  හා අම්පාර දිස්ත්‍රිකයන්ට අයත්ව පිහිටා ඇත.

එම ප්‍රදේශයේ සංරක්ෂණය සේම වනජීවි සංරක්ෂණය ස්ථීර වශයෙන්  පවත්වා ගෙන යාම සදහා 1954 වසරේදී ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ සේනානායක සමුද්‍රය හා අවට ජලධාර වනාන්තර වලට ආරක්ෂාව ලබා ගැනීම මුලික කර ගනිමින් වනජීවී ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් ගල්ඔය ජාතික උද්‍යානය, සේනානායක සමුද්‍ර අභය භූමිය, ගල්ඔය  නිම්න ඊසානදිග අභය භුමිය,ගල්ඔය නිම්න නිරිත දිග අභය භූමිය  වශයෙන් වනජීවී ආරක්ෂිත ප්‍රදේශ හතරක් ස්ථාපිත කරන ලදි.

ගල්ඔය ජාතික උද්‍යානය සමන්විත වන ආරක්‍ෂිත ප්‍රදේශ හතරෙන් එකකට අයත් වන බුද්ධංගල අභය භූමිය ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිවෙන ස්තූපයක් සහ අනෙකුත් ගොඩනැගිලිවල නටබුන් වලින් යුක්ත වේ. අම්පාර නගරයේ සිට උතුරු දෙසින් මල්වත්ත නම් කොටස අසල බුද්ධංගල අරණ පිහිටා ඇත. අක්කර 200 ක තරම් භූමි ප්‍රමාණයක මෙම අරණට අයත් නටඹුන් පැතිර ඇත. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවසාන කාලයේ මෙහි වැඩම කළ බව විශ්වාස කෙරේ. එහි ආරාම,දාගැබ්,ගල් කණු, පියගැට පෙළ, සදකඩපහන්,කොරවක් ගල් සහ මල් ආසන ආදියන්හි ශේෂයන් ඉතිරිවපවතී.මේ හැර ගල්ඔය ජාතික උද්‍යානය අසල මගුල් මහා විහාරය, නීලගීරි සෑය, දීඝවාපිය, පියංගල, පුළුකුණාව ආදී බෞද්ධ සිද්ධාස්ථාන හා නටඹුන් දැක ගත හැක. අතීතයේ ආර්ය ජනාවාස ප්‍රදේශයක් ලෙස පැවැත ඇති ගල්ඔය එකල දිගාමඩුල්ල නමින් හැදින්වූ අතර උද්‍යානයට බටහිර දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ ගම්මානයක් වන රතුගල-නිල්ගල ගම්මාන පිහිටා තිබිණ.

ආදිවාසියෙක්

දානිගල, නිල්ගල සහ උල්පොත කඳු ඉහළම කඳු මුදුන් වන අතර උසම කඳු මුදුන මීටර් 900 කි. දිවයිනේ වියලි කලාපයේ පිහිටි මෙම උද්‍යානයට ඊසාන දිග මෝසම් සමයේදී වර්ෂාව ලැබෙන අතර එය සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1600- 1700 අතර වේ. සේනානායක සමුද්‍රය ආශ්‍රිතව පිහිටා ඇති  මෙමභුමියේ පස රතු- දුඹුරු පැහැයකින් යුක්ත වේ.

වියලි කලාපයට ආවේණික වු ශාක මෙම උද්‍යානයේ  දක්නට ලැබෙන අතර වනපෙතේ වෘක්ෂලතාදිය වර්ග තුනකි. වනාන්තර, පඳුරු සහ තණබිම් නම් වු මෙහි  45%ක් පමණ සදාහරිත වනාන්තරවලින් වැසී ඇති අතර තවත් 33%ක්  තෘණ බිම් වලින් සහ  කඳුකර තණබිම් 9%කින් සමන්විත වේ. කදු පාමුල නිම්න දෙපස ඉතා සරුවට තෘණ වර්ග හා ඖෂධීය ශාක වැඩී ඇති අතරආයුර්වේදයේ ප්‍රධානතම ඖෂධීය දැව ත්‍රිත්වය වන අරළු,බුළු,නෙල්ලිසහ ගම්මාලුමෙන්මමාන,ඉලුක්ආදී තෘණ වර්ගත් ඉතා සරුවට වැඩි ඇත. මෙම වනාන්තරයේ උසට වැඩුණු ශාක ලෙස හල්මිල්ල,ඇටඹ සහ කළුමැදිරි,වීර,පලු,කළුවර සහ දිවුල්ද පදුරු ශාක වශයෙන් එරමිණියා වැනි දේශීය ගස් ගණනාවක් විශාල වශයෙන් දක්නට ලැබේ.

උද්‍යානයේ ඉහළ අහස අලංකාර කරන විවිධ පක්ෂි විශේෂ 150කට ආසන්න ප්‍රමාණයක් ජලාශය අවට දූපත් වල කූඩු සාදා ඇත. ඝන කොළ පැහැති වියනක් සහිත උද්‍යානය පක්ෂීන්ගේ තෝතැන්නක් වන අතර සමුද්‍රයට ආසන්නයේ කොකුන්, දියකාවා,අළු කොකා සහ තඹසේරුවා සහ උකුසු විශේෂද සේනානායක ජලාශයේ බහුලව දක්නට ලැබෙන පක්ෂීන් අතර වේ. ශ්‍රී ලංකාවේ විශාලතම පක්ෂියා වනබහුරුමානාවා,පැස්තුඩුවා,ශ්‍රී ලංකා අළුකෑදැත්තා,රතු මුහුණැති මල්කොහා,වළි කුකුලා,හබන් කුකුලා,ලංකා මුදුන් බොර දෙමලිච්චා ආදි ලෙස පක්ෂි විශේෂවල ඇදහිය නොහැකි විවිධත්වයක් උද්‍යානයේදි දැක ගත හැක. ගල්ඔය ජාතික උද්‍යානයේ සමනල විශේෂ අතරට ආවේණික සුදනා විශේෂය ආදි තව බොහෝ ඇතුළත් වේ.

                                                                                                                                           කොකුන්

ජාතික උද්‍යානයක් වනසතුන්ට ඉතා හිතකර වන්නේ වසර පුරාම ජලය නොඅඩුව ඇති බැවින් සහ හරිත වර්ණයේ සෙවනින් නිරතුරුවම පහස ලබන නිසාත්ය. ගල්ඔය ජාතික උද්‍යානයේ වැදගත්ම අංගයක් වන්නේ වසර පුරා දක්නට ලැබෙන අලි රංචුවයි. තම ස්වභාවික වාසභූමිය තුළ සාමකාමීව ජීවත් වන ආසියානු අලියාදැක බලා ගැනීමට ලෝකයේ ඇති  හොඳම ස්ථානයන්ගෙන් එකකිගල්ඔය ජාතික උද්‍යානය. වන සතුන් සහ පරිසරය අතර සමගිය නිදර්ශනය කරන ගල්ඔය ජාතික උද්‍යානයේ සිටින සියලුම ක්ෂීරපායින් අතරින් ප්‍රබලම පිහිනුම් ක්‍රීඩකයා වන්නේද අලි ඇතුන්ය.මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ බෝට්ටු සෆාරි මගින් මහා සේනානායක සමුද්‍ර ජලාශයේ එක් දූපතක සිට තවත් දූපතකට පිහිනන අලි රංචු දැකගත හැක.

                                                                                                                        තවත් දූපතකට පිහිනන අලි රංචු

ක්ෂීරපායින් 32කට ආසන්න ප්‍රමාණයක් උද්‍යානයේ වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකා අලියා, කුළු මී හරකා,ගෝනා,ශ්‍රී ලංකා දිවියා,වලසා,ඕලු මුවා,තිත් මුවා, අළු වඳුරා,රිළවා සහ වල් ඌරා ඒ අතර වේ.

ශ්‍රී ලංකා දිවියා
රිළවා
කුළු මී හරකුන්
ගෝනුන්
තිත් මුවන්

උද්‍යානයේ උරග විශේෂ අතරට හැල කිඹුලා සහ තාරකා ඉබ්බා, කිරි ඉබ්බා,ගල් ඉබ්බා, පිඹුරා,නයා ඇතුළත් වේ.

හැල කිඹුලා

පෘථිවියේ ඇති සැබෑ ස්වභාවය අත්විඳිය හැකි සියවස් ගණනාවක් තිස්සේ මිනිසාගේ අතින් ස්පර්ශ නොවූ ස්වභාවිකව පරිණාමය වී ඇති ස්වභාවධර්මයේ තේජස පිළිබඳ අද්විතීය දර්ශනයක්ඔබට ලබා දෙන ජීවයෙන් පිරී ගල්ඔය ජාතික උද්‍යානය සැබවින්ම සාමකාමීව පවතින සන්සුන් ස්ථානයකි. සේනානායක සමුද්‍ර වැවේ නිසල ජලය මතින් ඔබ ගමන් කරන විට, ගල්ඔය ජාතික උද්‍යානය ජීවයෙන් පිරී පවතින බව ඔබට ඉක්මනින්ම වැටහෙනු ඇත. උද්‍යානයේ ඇති නිසංසල පරිසරය සංචාරකයින් හට උපරිම නිදහසේ නැරඹීමට මග සලසා දෙයි.

වියළි මිශ්‍ර සදාහාරිත උද්‍යානයක් වන මෙම භුමිය කොළඹ සිට කිලෝමීටර් 368ක් පමණ දුරින් පිහිටා ඇත. උද්‍යාන පිවිසුම අම්පාර සිට කිලෝමීටර් 20ක් බටහිරින් ඉඟිනියාගලපිහිටා ඇත. ගල්ඔය ජාතික උද්‍යානයට කොළඹ සිට රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ,වැල්ලවාය, මොණරාගල,සියඹලාන්ඩුව-අම්පාර පාරේ 17වැනි සැතපුම් කණුවෙන් හැරි ඉගිනියාගලටද එසේම කොළඹ,නුවර,මහියංගනය, අම්පාර හරහා ඉඟිනියාගලටද ළගා විය හැක.

සංචාරකයින් සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පහසුකම් ලබා දෙන අතර සංචාරක බංගලාවන්හි නවාතැන් ලබා ගැනීමට ප්‍රධාන වනජීවි කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු වේ. වනජීවි සංචාරක බංගලා ඉඟිනියාගල, එක්ගල් ඔය සහ නිල්ගල පිහිටා ඇති අතර සේනානායක සමුද්‍රසන්නයේ සහ පරෙවියන්ආර,මහදොරොව්ව,කොස්සපොළ යන ස්ථාන වල කදවුරු බිම් ස්ථාපිත කොට ඇත. තවද මුල්ලේගම සිට කැබැල්ලබොක්ක දක්වා ද අලිවංගුව සිට කොස්සපොල්ල දක්වාද ජිප් රියකින්  සංචාරය කිරීමේ හැකියාව ඇත.

ගල්ඔය ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

ශ්‍රී ලංකා දිවියා

சிறுத்தை

Leopard

Panthera pardus kotiya

වලහා

தேன் கரடி

Sloth bear

Melursus ursinus

ආසියානු අලියා

ஆசிய யானை

Asian elephant

​Elephas maximus

කුළු මී හරකා

காட்டெருமை

Wild buffalo

Bubalus bubalis

ගෝනා

மரை

Sambar

Rusa unicolor

අළු වදුරා

சாம்பல் முகக் குரங்கு

Gray langur

Semnopithecus entellus

ඕලු මුවා

மான்

Barking deer

Muntiacus muntijak

තිත් මුවා

புள்ளி மான்

Spotted deer 

Axis axis ceylonensis

රිළවා

செங்குரங்கு

Toque macaque

Macaca sinica

වල් ඌරා

காட்டுப் பன்றி

Wild boar 

Sus scrofa

කොකා

கொக்கு

Heron family

Ardeidae Sps.

දියකාවා

நீர்க்காகம்

Cormorant

Phalacrocorax fuscicollis

අළු කොකා

சாம்பல் நாரை

Grey heron

Ardea cinerea

තඹසේරුවා

சிறிய சீழ்க்கைச்சிரவி

Lesser whistling duck

Dendrocygna javanica

උකුසු විශේෂ

பருந்து இனங்கள்

 

Family accipitridae sps.

බහුරුමානාවා

சிறுத்த பெரு நாரை

Lesser adjutant

Leptoptilos javanicus

පැස්තුඩුවා

சாம்பல் கூழைக்கடா

Spot-billed pelican

Pelecanus philippensis

ශ්‍රී ලංකා අළුකෑදැත්තා  

இலங்கை சாம்பல் இருவாய்ச்சி

Sri lanka Grey Hornbill

Ocyceros gingalensis

රතු මුහුණැති මල්කොහා

செம்முகப் பூங்குயில்

Sri Lanka red faced malkoha

Phaenicophaeus pyrrhocephalus

වළිකුකුලා

இலங்கைக்காட்டுக்கோழி

Sri Lanka junglefowl

Gallus lafayetii

වත නිල් මල් කොහා

நீல முகச் செண்பகம்

Blue – faced malkoha

Phaenicophaeus viridirostris

ශ්‍රීලංකා මල්  කොට්ටෝරුවා

சின்ன குக்குறுவான்

SL Crimson-Fronted Barbet

Psilopogon rubricapillus

හබන් කුකුලා

சின்னக் காட்டுக்கோழி

Sri Lanka spurfowl

Galloperdix bicalcarata

ලංකා මුදුන් බොර දෙමලිච්චා

பழுப்புத் தலை​ச் சிலம்பன்

Brown capped babbler

Pellorneum fuscocapillus

සමනල විශේෂ – සුදනා

வண்ணத்துப்பூச்சி இனம்-சுதனா

Sri Lanka lesser albatross

Appias galene

හැල කිඹුලා

சதுப்பு முதலை

Mugger crocodile

Crocodylus palustris

තාරකා ඉබ්බා

நட்சத்திர ஆமை

Star tortoise

Testudo elegans

කිරි ඉබ්බා

பால் ஆமை

Flapshell turtle

Lissemys ceylonensis

ගල් ඉබ්බා

கறுப்பு ஆமை

Parker’s black turtle

Melanochelys trijuga

පිඹුරා

மலைப்பாம்பு

Python 

Python molurus

නයා

நாகப்பாம்பு

Cobra

Naja naja

ගල්ඔය ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

වීරவீரைHedge Box wood

Drypetes sepiaria

පලුபாலைPalu

Manilkara hexandra

හල්මිල්ලசாவண்டலை மரம்Halmilla

Berraya cordifolia

ඇටඹகாட்டு மாEtamba

Mangifera zeylancia

කලුමැදිරියபதுரங்கலிKalumadiriya

Diospyros quaesita

කළුවරகருங்காலிEbony

Diospyros altissima

දිවුල්விளாDivul 

Limonia acidissima

අරළුகடுக்காய்Aralu

Terminalia chebula

බුළුதான்றிBuluTerminalia bellirica
නෙල්ලිநெல்லிNelli

Phyllanthus emblica

ගම්මාලුவேங்கைGammalu

Pterocarpusmarsupium

මානமானாManaCymbopogon confertiflorus
ඉලුක්தர்ப்பைப்புல்Illuk

Imperata cylindrica

එරමිණියාஇலந்தை Zizyphus sps.

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.