简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 24 – අම්පාර දිස්ත්‍රික්කයේ පවත්නා අභය භූමි

Content Image

පරීක්ෂාව නිසා ලොකු අනතුරක් වැලකුනා

මම 2022 ජනවාරි 4 වෙනිදා අම්පාර නැගෙනහිර භාර සහකාර අධ්‍යක්ෂවරයා විදියට අම්පාර ප්‍රදේශයට ආවා. ඒ වෙනකොට මගේ සේවා කාලය අවුරුදු 23ක්. අම්පාර නැගෙනහිර ප්‍රදේශයේ සැලකිය යුතු විශාල වනාන්තර තියෙනවා. ජාතික උද්‍යාන තුනයි. ප්‍රධාන අභය භූමි 4යි.

ජාතික උද්‍යාන තුන මාදුරු ඔය, කුමන හා ලාහුගල – කිතුලාන. ප්‍රධාන අභය භූමි හතරකුඩුම්බිගල, සාගම, බුද්ධංගල හා අම්පාර අභය භූමී. කුඩුම්බිගල අභය භූමිය පිහිටලා තියෙන්නේ කුමන ජාතික උද්‍යානය ලඟ. සාගම අභය භූමිය පිහිටලා තියෙන්නේ ලාහුගල උද්‍යානය ලඟ. බුද්ධංගල අභය භූමිය පිහිටලා තියෙන්නේ අම්පාර අභය භූමියට කිට්ටුව. බුද්ධංගල ආරණ්‍ය පිහිටුවා තියෙන්නේ බුද්ධංගල අභය භූමිය ඇතුලේ. අම්පාර අභය භූමිය කියන්නේ ගල්ඔය ඊසාන දිග අභය භූමියටමයි.අම්පාර නගරයේ බොහෝ ප්‍රදේශ මෙයට අයිති වෙනවා. බුද්ධංගල පැත්තටත් මඩකලපුවේ වෙල්ලාවෙලි පැත්තටත් අලි ගමන් කරන්නේ අම්පාර අභය භූමිය හරහායි.

මේ අභය භූමිය ආරම්භ වෙන්නේ ගල්ඔය උද්‍යානයේ ඊසාන කෙළවරෙන්. එතන විදුලි වැටක් දාලා තියෙනවා. අලි ගමට එන එක වළක්වන්න. නමුත් අලි හරි සූක්ෂම විදියට නාමල් ඔය පැත්තෙන් ඇවිත් නැගෙනහිර පලාතේ විදුලි වැට අතරින් රිංගනවා. අම්පාර ප්‍රධාන පාර අරංතලාව හරහා වැටෙනවා.

ළමයින්ගේ විභාග තියෙන කාලෙට වනයෙන් එළියට එන අලි රංචු ගැන අපි සැළකිළිමත් වෙනවා. මේ සැරේ උසස් පෙළ විභාගය පැවැත්වුනේ 2023 ජනවාරි මාසයේ. අධ්‍යක්ෂ ජනරාල් වරයාත් අපිට ලියුමක් එවා තිබුණා අලි ගැන අවධානයෙන් ඉන්න කියලා.

කොහොමත් ළමයි උසස් පෙළ විභාගයට යනකොට උදෙන්ම යනවා. එදා ජනවාරි 23 වෙනිදා අපේ සංචාරක කණ්ඩායම් කීපයක් තැන් තැන්වල තත්වය පරීක්ෂා කරන්න ක්‍රියාත්මක වුනා. මමත් පාන්දර 4ට විතර අපේ කට්ටියත් එක්ක කැබ් එකකින් පිටත් වුනා. මගෙත් එක්ක හිටියා වන සත්ව නියාමක විශ්මිත, ක්ෂේත්‍ර සහායක අෂාන් හා රියදුරු උපුල් ශාන්ත.

මේ දවස්වල තද අඳුර. පාන්දර හයටත් අඳුරුයි. එදා අනතුරුදායක දවසක්. අලි රංචු කීපයක් එළියට ඇවිත්. අපි දුටුවා අලි 6ක් 7ක් ඉන්න රංචුවක් හා පිරිමි අලි දෙන්නෙක් එකට ඉන්නවා. එකට ඉන්න පිරිමි අලි හරි අවදානම්. ටික වේලාවකින් අපිට ඈතින් අලි වෙඩි ශබ්දයක් ඇහුණා. ඒ අපේ වෙන කණ්ඩායමක්. ඔවුන් අලි වෙඩි දාලා අලි එළවන්න.

දැන් වේලාව පහට කිට්ටුයි. විභාගෙට යන ළමයි එන්න කිට්ටුයි. අපේ වාහනේ හා නාමල් ඔය වැව් බැම්ම උඩ ඉඳලා කිලෝමීටර් භාගයක් විතර ඉඟිනියාගල කිට්ටුවට ගියා. එක තරමට විශාල තනි අලියෙක් අපේ වාහනේ ගෑවී නොගෑවී කැළෑව පැත්තට දුව ගෙන ගියා. ඒ එළියට ආපු අලි ඇතුලට යනවා.

උදේ 5.15ට විතර වෙනකොට අලි සේරම කැළෑවට එළවා ගන්න අපේ කණ්ඩායම් වලට පුළුවන් වුනා. සැනසීමක් ලැබුණේ ඉන්පස්සේ.

එදා අපි ලොකු  සේවයක් කලා කියලා හිතනවා. ළමයින්ගේ ජීවිත එයින් ආරක්ෂා වුනා. එක ළමයෙක් හරි අලියෙකුට අහුවුනා නම් සිද්ධ වෙන්නේ විශාල අපරාධයක්. එ් දවස මතක් වෙනකොට මට ආත්ම තෘප්තියක් ඇති වෙනවා.

ප්‍රශාන්ත ලක්ප්‍රිය විමලදාස මහතා

ප්‍රශාන්ත ලක්ප්‍රිය විමලදාස මහතා 1998.11.09 වැනි දින වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුනේ විද්‍යා උපාධිධාරී මාණ්ඩලික නිලධාරියෙකු ලෙසය.

පළමුව ඔහු සේවය කරනු ලැබුයේ යාල ජාතික උද්‍යානයේය. එහි වසර 4ක් සේවය කිරීමෙන් පසුව හික්කඩුව ජාතික මාදුරු ඔය, ලුණුගම්වෙහෙර, උඩවලව, කවුඩුල්ල යන ජාතික උද්‍යාන වල උද්‍යාන භාරකරු ලෙසද බෙල්ලන්විල අත්තිඩිය අභයභූමියේද, ගිරිතලේ පුහුණු ක්ෂේත්‍රයේද සේවය කළේය.

2011 වසරේදී, 2017 සිට 2019 වසර දක්වා ඌව පලාතේ කලාප 2ක් භාරව වැඩ බලන සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන ලදී.

2006 වසරේදී හම්බන්තොට අලි මෙහෙයුමට සම්බන්ධ වීමට ලැබීම ඔහු සිහිපත් කරනුයේ සතුටිනි.

ප්‍රශාන්ත විමලදාස මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරයෙකි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වනජීවී කළමණාකරණය සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුව අනුග්‍රාහකත්වය දරනු ලබන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරා ඇති අතර ඉන්දියාවේදී වනජීවී කළමණාකරණය සම්බන්ධව ඩිප්ලෝමාවක් හදාරා ඇත.

මේ වන විට ප්‍රශාන්ත මහතා විවෘත විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය අවසන් විභාගයට පිළිතුරු ලියා ඇත.

ප්‍රශාන්ත මහතාගේ බිරිඳ උත්පලා නීලවල මහත්මිය කෑගල්ල විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකි. පුතණුවන්, පුල්මේද් චන්දික විමලදාස කෑගලු විද්‍යාලයේ 8 වසර සිසුවෙකි.

ඔහුගේ ලිපිනය කැන්ද පිටිය වත්ත, මොළගොඩ, කෑගල්ල වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පවත්නා අභය භූමි

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් වු නැ‍ගෙනහිර වනජීවී කලාපයේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන සහ අභය භූමි කිහිපයකි.මාදුරුඔය,කුමන සහ ලාහුගල- කිතුලාන යන ජාතික උද්‍යාන වේ. කුඩුම්බිගල-පානම,බුද්ධංගල, ගල්ඔය ඊසාන දිගහෙවත් අම්පාර,සාගමම් අභය භූමිවේ. මෙම ප්‍රදේශයන්හි ශාක ප්‍රජාව වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වන අතර පලු, වීර, දිවුල්, කොහොඹ, බුරුත වැනි ශාක ප්‍රධාන වේ. අරළු, බුළු, නෙල්ලි වැනි ඖෂධීය ශාක ද ගල් සියඹලා ශාකය ද මෙම වනාන්තරවල දක්නට නොලැබේ. වනාන්තර වල විශේෂත්වයක් වනුයේ  ‘පැලැස්ස‘ ලෙස හඳුන්වන කුඩා තෘණ භූමි තැනින් තැන පිහිටා තිබීමයි. මාන, ගිනිග්‍රාස්, ඉලුක් හා පොහොන්තෘණ භූමි වල ප්‍රධාන ශාක වේ.  දෙහි, කුකුරුමාන, කරඹවැනි පඳුරු ශාක බහුල අතර ඒවායේ ඵල පක්ෂීන්ට රසවත් ආහාර සපයයි. අලියා, ගෝනා, මුවා, මීමින්නා, ඕලු මුවා, වල්ඌරා, හා ඉත්තෑවාබහුල ක්ෂීරපායින් වේ. මෙම වනාන්තරවල දිවියන්සිටි බවට පා සලකුණු වැනි හෝඩුවාවන් ඇති මුත් කිසිවකු විසින් දිවියන් දුටු බවට වාර්තා කර නැත.

‘නීත්තෑවන්‘ නම් කුරු මිනිසුන් මෙහි ජීවත් වූ බවට ජනප්‍රවාද තිබේ.

පක්ෂි විශේෂ 80 ක් පමණ මේ ප්‍රදේශයේ ජීවත් වේ. ජලාශ ආශ්‍රිතව ජීවත් වන පෙලිකන්, කොකුන් විශේෂ,දියකාවුන් මෙන්ම අළුකෑදැත්තා, වත නිල් මල් කොහාවැනි පක්ෂීන් නිරීක්ෂණය කළ හැක. නමුත් සංක්‍රමණ පක්ෂීන් දැකිය හැකි නොවේ. ඒ අතර කලාතුරකින් පමණක් දැකිය හැකිපෙඳ නිල් බිඟුහරයා සංක්‍රමණ පක්ෂියෙකි.

මොණරා
සර්ප උකුස්සා
ජලජ පක්ෂියෙක්

සමනල විශේෂ15-20ක් පමණ මෙම වනාන්තර වල දක්නට හැකි අතර ගැට කිඹුලා, කිරි ඉබ්බා, ගල් ඉබ්බා හා තාරකා ඉබ්බා සුලබ උරග විශේෂ වේ.

වනාන්තරයේ ජලාශ බොහොමයක් පිහිටා ඇත. ඒ ආශ්‍රිතව සුළු වශයෙන් මිරිදිය ධීවර කර්මාන්තය සිදුවෙයි. තිලාපියා වැනි හඳුන්වා දුන් මසුන් මේ ජලාශයන්හි බහුලව හමුවේ.

මෙම අභය භූමීන් පිහිටි ප්‍රදේශවල මිනිසුන් කුඹුරු වගා කරනුයේ අපූරු ක්‍රමයකටය. වන අලින් ගමන් කරන ප්‍රධාන මාර්ගයන් කුඹුරු හරහා වැටී ඇත. ගල්ඔය ප්‍රදේශයේ සිට සාගමම් අභය භූමිය හරහා විත් බුද්ධංගල අභය භූමිය පසු කරන වන අලින් අනතුරුව සමන්තුරේ හා වලසාපිටිය ප්‍රදේශයන් පසු කළ යුතුය. මෙම ප්‍රදේශ කුඹුරු වගාව සිදු කරන ප්‍රදේශයන්ය.දීඝවාපිය හරහා ලාහුගලට යාමේ දී කුඹුරු වගා කරන ප්‍රදේශ වන අක්කරෙයිපත්තු, තිරුක්කෝවිල් පසු කල යුතුය. මෙම වන අලින් කුඹුරු ප්‍රදේශ හරහා ගමන් කරනුයේ අස්වැන්න නෙලාගත් පසුවයි. එවිට කුඹුරු වල ඇති ඉපනැල්ල ඔවුන්ගේ ආහාරය වේ. සාර්ථක වගාවන් ආරම්භ කර ගැනීම සඳහා වන අලින්ගේ සංක්‍රමණය වටහාගත් ගොවීන් පළමුව අභය භූමියට ආසන්න කුඹුරුත් පසුව අභය භූමියට දුරින් ඇති කුඹුරුත් වගා කරන අතර අස්වැන්න නෙලනුයේ ද ඒ අනුවය. එම ක්‍රමයෙන් වගාව ආරක්ෂා කරගෙන ඉපනැල්ල වන අලින්ගේ ආහාරයට ලබා දීමට හැකියාව ලැබේ. කුඹුරු වගා කරනුයේ ගල්ඔය ව්‍යාපාරය යටතේ බැවින් මුර ක්‍රමයට වතුර ගෙන අස්වැන්න නෙලා ගැනීමට ගොවීන්ට හැකියාව ලැබී ඇත. අස්වැන්න නෙලූ ස්ථාන වල අක්කර 300-400 ක් පමණ ප්‍රදේශයක ඉපනැල්ල ආහාරයට ගැනීමට වන අලින්ට අවස්ථාව ලැබී ඇත. පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල මෙසේ යල, මහ කන්නවල අස්වැන්න නෙලා අවසන්ව ඉපනැල්ල ආහාරයට ගන්නා වන අලි නිරීක්ෂණය කළ හැකි කාලයන්ය. මේ කාල සීමා වල දී අක්කරෙයිපත්තු, නින්දවූර්, කාර්තීවු, සමන්තුරේ පාර දෙපස වන අලි 30ක් පමණ දැකබලා ගැනීමට හැකිය.

1.පානම- කුඩුම්බිගල අභයභූමිය

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ කුමන ජාතික උද්‍යානයට ආසන්නව පිහිටා ඇති පානම- කුඩුම්බිගල අභයභූමිය ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ ස්ථානයකි. සශ්‍රීක වෘක්ෂලතා සහ ගහකොළ වලින් වැසී ඇති මෙම අභයභූමිය විවිධ පක්ෂීන්ගේ සහ සතුන්ගේ නිවහනකි. නගරයේ තදබදයෙන් මිදී සොබාදහමට සමීපව කාලය ගත කිරීමට කුඩුම්බිගල අභයභූමිය අපූර්ව ස්ථානයකි. මෙම පුදබිම මහ රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ස්පර්ශ කළ භාග්‍යවන්ත වු භූමියක් ලෙස සැලකේ.                   

2006 පෙබරවාරි මාස 20 වන දින අංක 1433/3/79 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට කරන ලද හෙක්ටයාර් 6533.91ක භූමි ප්‍රමාණයකින් යුතු වේ. මෙම අභය භූමියේ පිහිටා ඇතිකුඩුම්බිගල ආරාම භුමිය නැගෙනහිර පළාතේ යාල කුමන ජාතික උද්‍යානයේ සිට කිලෝමීටර් 22 ක් පමණ දුරින් සහ පොතුවිල් අම්පාර සිට කිලෝමීටර් 22 ක් පමණ දුරින් ස්වභාවික රක්ෂිතයක් මධ්‍යයේ මනරම් පර්වතයක් මත පිහිටා ඇත. එහි කඳු මුදුනේ පූජනීය කුඩුම්බිගල ආරාමය ඇති අතරඑයට යන මාර්ගය තරමක් බෑවුම් සහිත නමුත් අභියෝගාත්මක කඳු නැගීමකට ඔබට අවස්ථාවක් උදාකරයි. කෙසේ වෙතත්, ඉහළට ළඟා වූ විට සුන්දර දසුන් ඔබව පිළිගන්නා බැවින් ඒ සියල්‍රු උත්සාහයන්ටඅවසානයේ වටිනාකමක්ද එක්කරයි. 

නගරවල තදබදයෙන් මිදීමට කැමති බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ රැකවරණස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලද මෙහි භාවනා යෝගී  භික්ෂූන් වහන්සේලා වැඩවාසය කරති. ජීවිතයේ එක් වරක්වත් නැරඹිය යුතුම සිද්ධස්ථානයකි. කාවන්තිස්ස රජු සමයේ මහා සංඝරත්නයට කරවා පූජා කළ බව සැලකෙන චේතිය පබ්බත විහාරස්ථානය කුඩුම්බිගල තපෝවන අභය භූමියේ වේ. එය පසුව ප්‍රතිසංස්කරණය කරන ලද්දේ දුටුගැමුණු රජු සමඟ රටඑක්සේසස් කිරිමට දායක වූ නන්දිමිත්‍ර සෙන්පතියා විසින් බව පිළිගැනේ. කොළඹ සිට කුඩුම්බිගල අභයභූමිය අතර දුර කිලෝමීටර් 350 ක් වේ. මෙහි සවස් කාලයේ වන සතුන් නිදැල්ලේ ගැවසෙන බැවින් සවස 5 න් පසු නැරඹීම සුදුසු නොවේ.

කුඩුම්බිගල වැනි ගල් කඳු වනයට ගෙන එන්නේ අමුතුම චමත්කාරයකි. සුවිශේෂී ප්‍රදේශයක් වන මෙහි භූ විද්‍යාත්මක ජීව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක ලක්ෂණ තවමත් නිසි ලෙස ගවේෂණය කර නොමැත. වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථාන වන්නේ කුඩුම්බිගල චෛත්‍යය, තපෝ වනය සහ මුරුගන් කෝවිලයි. මෙම ස්ථානයන් ඇතුලත්වමෙම වනයේ කොටසක් පුරාවිද්‍යාරක්ෂිතයක් ලෙස නම් කර ඇත. මෙම අභයභූමියේ ප්‍රධාන භූ විද්‍යාත්මක ලක්ෂණයක් වන්නේ එහි මායිමට ආසන්නව පිහිටි මනරම් කලපුය.අද්විතීය ජෛව විවිධත්වයක් සහිත භූ විද්‍යාත්මකව නොගැලපෙන වැලි කඳු කිහිපයක්දමෙහි තිබේ.

2. ගල්ඔය ඊසාන දිග හෙවත් අම්පාර අභයභූමිය

ගල්ඔය ඊසාන දිග හෙවත් අම්පාර අභයභූමිය 1954 පෙබරවාරි 12 වන දින 10640 අංක දරණ ගැසට් පත්‍රය මඟින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පසුව නැවත 1998.06.11 දින 1031-12  අංක දරණ ගැසට් පත්‍රය මඟින් එය අලුත් කර ඇත. මෙම අභය භූමියෙන් ආවරණය වන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 124.32 කි. මෙය ජල පෝෂක ප්‍රදේශයකි. අම්පාර වැව, පොන්ඩුවටුවාන වැව, හිමි දුරාව වැව හා ගල් ඔය ජාතික උද්‍යානයේ කෙළවර පිහිටි නාමල් ඔය වැව මෙහි පිහිටි ප්‍රධාන වැව් වේ.

ගල් ඔය ජාතික උද්‍යානයේ සිට මඩකලපුව දෙසට වන අලි ගමන් කරන ප්‍රධාන සංක්‍රමණ මාර්ගය වැටී තිබෙන්නේ අම්පාර අභය භූමිය හරහායි. මේ අභය භූමිය හරහා මංගල ගම, අරන්තලාව, උහන මාර්ගය ඔස්සේ මඩකලපුව වෙල්ලාවලි හා ශාන්තාමලේ ප්‍රදේශවලට වන අලි නිදහසේ ගමන් කරති.

3. බුද්ධංගල අභයභූමිය

අම්පාර ප්‍රදේශයේ පිහිටි ඇති මෙම අභය භූමිය 1974නොවැම්බර් මාසය 01වන දින අංක 136 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට කරන ලද හෙක්ටයාර් 1841.3ක භූමි ප්‍රමාණයකින් යුතු අභය භූමියකි.ගල්ඔය ජාතික උද්‍යානය සමන්විත වන ආරක්‍ෂිත ප්‍රදේශ හතරෙන් එකකට අයත් වන බුද්ධංගල අභය භූමිය ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිවෙන ස්තූපයක් සහ අනෙකුත් ගොඩනැගිලිවල නටබුන් වලින් යුක්ත වේ. අම්පාර නගරයේ සිට උතුරු දෙසින් මල්වත්ත නම් කොටස අසල බුද්ධංගල අරණ පිහිටා ඇත.අක්කර 200ක තරම් භූමි ප්‍රමාණයක මෙම අරණට අයත් නටඹුන් පැතිර ඇත.  බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවසාන වතාවේ මෙහි වැඩම කළ බව විශ්වාස කෙරේ.

මෙම වනය පුරා පැතිර ඇත්තේ ශාන්ත සුන්දර බවකි. වියළි මිශ්‍ර සදාහරිත වනයේ වෘක්ෂයන්ද වඩා ලංව පිහිටා තිබේ. එමෙන්ම මෙහි ගිණිකොණ ප්‍රදේශයේ ‘පැලැසි‘ පිහිටා ඇත. වලනාපිටිය ප්‍රදේශයට බුද්ධංගල හරහා යන අලින් භාවිතා කරනුයේ මෙම පැලැසිය. පලු, වීර, මලිත්තන්, දිවුල්, කුකුරුමාන බහුලව දක්නට ඇති බුද්ධංගල අභය භූමියේ දිය සීරාව ඉහළය. තැන් තැන්වල කුඹුක්හා මී ගස්දක්නට ලැබේ. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විසිදෙනෙක් පමණ බුද්ධංගලආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින අතර නිරතුරුව දාන මාන දෙන පුද පූජා සිදු කරන බැතිමත්තු බුද්ධංගල ආරණ්‍යට පැමිණෙති.

  1. 4. සාගමම් අභය භූමිය

අම්පාර දිස්ත්‍රිකයේ පිහිටා ඇති තවත් අභය භූමියකි සාගමම් අභය භූමිය.1963.06.21 වනදින ප්‍රකාශයට පත්කරන ලද හෙක්ටයාර් 616.4 භූමි ප්‍රමාණයකින් යුක්ත අභය භූමියකි.තමන්ටම අනන්‍ය වු සුන්දරත්වයකින් යුක්ත වු වන පෙතකි. සාගමම් අභය භූමිය හරහා ප්‍රධාන අලිමංකඩ දෙකක් වැටී ඇත. ගල්ඔය ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් පැමිණෙන වන අලි ගල්ඔය සිට මඩකලපුව ප්‍රදේශයටත් බුද්ධංගල හරහා ලාහුගල ප්‍රදේශයටත්ගමන් කරනුයේ මේ මංපෙත් දෙක හරහාය.

අම්පාර දිස්ත්‍රික්කයේ පවත්නා අභය භූමි පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

අලියා

யானை

Asian elephant

​Elephas maximus

ගෝනා

மரை

Sambar

Rusa unicolor

මුවා     

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

මීමින්නා

சருகு மான்

Spotted chevrotain

Moschiola meminna

ඕලු මුවා

கேளையாடு

Barking deer

Muntiacus muntijak

වල් ඌරා

காட்டுப்பன்றி

Wild Boar

Sus scrofa

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

දිවියා

சிறுத்தை

Leopard

Panthera pardus kotiya

පෙලිකන්

சாம்பல் நாரை

Spot-billed pelican

Pelecanus philippensis

කොකුන් විශේෂ

கொக்கு இனங்கள்

Heron family

Ardeidae Sps

දියකාවා

நீர்க்காகம்

Cormorant

Phalacrocorax fuscicollis

අළුකෑදැත්තා

இலங்கை சாம்பல் இருவாய்ச்சி

Sri lanka Grey Hornbill

Ocyceros gingalensis

වත නිල් මල් කොහා

நீல முகச் செண்பகம்

Blue – faced malkoha

Phaenicophaeus viridirostris

පෙඳ නිල් බිඟුහරයා

நீலவால் பஞ்சுருட்டான்

Blue tailed bee eater

Merops philippinus

සර්ප උකුස්සා

கொண்டை பாம்புண்ணிக் கழுகு

Crested serpant eagle

Spilornis cheela

මොණරා

மயில்

Peacock

Pavo cristatus

ගැට කිඹුලා

உவர்நீர் முதலை

Estuarine crocodile

Crocodylus porosus

කිරි ඉබ්බා

பால் ஆமை

Sri Lankan flapshell turtle

Lissemys ceylonensis

ගල් ඉබ්බා

கறுப்பு ஆமை

Indian black terrapin/ turtle

Melanochelys trijuga

තාරකා ඉබ්බා

நட்சத்திர ஆமை

Star tortoise

Testudo elegans

තිලාපියා

திலாபியா

Tilapia

 

අම්පාර දිස්ත්‍රික්කයේ පවත්නා අභය භූමි පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

පලු

பாலை

Palu

Manilkara hexandra

වීර வீரை Hedge Box wood

Drypetes sepiaria

දිවුල් விளா Divul 

Limonia acidissima

කොහොඹ வேம்பு Kohomba 

Azadirachta indica

බුරුත முதிரை Satinwood

Chloroxylon swietenia

අරළු கடுக்காய் Aralu

Terminalia chebula

බුළු தான்றி Bulu

Terminalia bellirica

නෙල්ලි நெல்லி Nelli

Phyllanthus emblica

ගල් සියඹලා பட்டு புளியம்பழம் Gal siyambala

Dialium ovoideum

මාන மானா Mana

Cymbopogon confertiflorus

ගිනිග්‍රාස් கினியா புல் Guinea grass

Megathyrsus maximus

ඉලුක් தர்ப்பைப்புல் Illuk

Imperata cylindrica

පොහොන් நேப்பியர் புல் Pohon

Pennisetum polystachion

දෙහි எலுமிச்சை Lime

Citrus sps

කුකුරුමාන மதுக்காரை Kukurumana

Caturunaregam spinosa

කරඹ கிளா Conker

Carissa carandas

මලිත්තන් உகாய் Malittan

Salvadora persica

කුඹුක් வெண்மருது Kumbuk

Terminalia arjuna

මී இலுப்பை Mee

Madhuca longifolia

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.