මම චන්ද්‍රා බණ්ඩාරණායක, අඩවි ආරක්ෂකවරයෙක් විදියට සීගිරිය අභයභූමියේ මම වැඩභාර ගත්තේ 2016දී. සීගිරිය සංචාරක කලාපයක්. සංචාරකයන් බහුලයි. මේ ප්‍රදේශයේ විවිධ කාර්යයන් කරන තනතුරු භාර නිලධාරීන් හිටියා. නමුත් නිලධාරීන් අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජනතාව අතර සම්බන්ධයකුත් නෑ. සෑම තැනම අපේ නිලධාරීන් දෝෂාරෝපණයට ලක් වුනා.
අවට මිනිස්සු ළිඳක් කපා ගන්න, වැසිකිලි වලක් කපා ගන්න බැරි තරම් සම්බන්ධයක් නැතිව හිටියේ. මම මිනිස්සුන්ට කතා කළා. කතා කරලා කිව්වා. මින් පස්සේ මහජනතාවම සේවය කරමින් අපේ කාර්යය කරනවා කියලා. මම නිලධාරීන් එකමුතු කරන්න පටන් ගත්තා. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය, ප්‍රාදේශීය සභාව ඇතුළු සියළුම ආයතන ප්‍රධානීන්ගේ සංසදයක් පිහිටුවා ගන්න අවසානයේ පුළුවන් වුනා. අපි නිලධාරීන් මාසයකට සැරයක් හමු වුනා. ආයතන අතර ගැටලු සාකච්ඡා කළා. මහජනතාවට සේවයක් කරන්න පුළුවන් විදියට සම්බන්ධතාවයන් හඳුනාගත්තා. ඉන්පස්සේ මාස ගණනක් යන වැඩ එක දුරකථන ඇමතුමකින් කර ගන්න පුළුවන් තත්වයක් උදා වුනා.
2019.06.27 වෙනිදා සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අලි පහරදීමකින් මිය ගියා. එයා තිදරු පියෙක්. පහර දීමට ලක්වෙලා තියෙන්නේ හවස 6.00 ට විතර කුඹුරේ ඉඳලා එන ගමන්. ඒ දවසේ මම රාජකාරියක් සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට ගිහින් හිටියේ. මැරුණ කෙනාගේ මස්සිනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. එයා මට දුරකථන පණිවුඩයක් දීලා සිද්ධිය දැනුම් දුන්නා. මම කිව්වා මන්ත්‍රී තුමා හෙට සිකුරාදා වුනාට වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම්තුමා සමඟ කතා කරලා අරන් දෙන්නම්. මිනිස්සුන්ට කලබල කරන්න දෙන්න එපා කියලා. මම එයාව සන්සුන් කලා. කිඹිස්ස හරි නපුරු ප්‍රදේශයක්. මම පහුවදාට එහෙට ආවා. වන්දි මුදල රුපියල් ලක්ෂයක් අරන් දුන්නා. එදා නියෝජ්‍ය ඇමති තුමාත් ආවා. මම ඇමතිතුමා ඉදිරියේම පොරොන්දු වුනා. මෙයාලාට ඉන්න ගෙයක් නෑ. ඉන්න ගෙයක් අපි එකතු වෙලා හදලා දෙනවා කියලා. අපේ ආයතනවල සහයෝගයෙන් ඒක කරන්න පුළුවන් කියලාත් කිව්වා.
පහුවදා භූමදාන කටයුතු කරන්න තිබුණේ කතා කරපු හැමෝම හාමුදුරුවෝ පවා මිනී පෙට්ටිය අරන් පාරට යන්න ලෑස්ති කළේ. නමුත් මියගිය කෙනාගේ මස්සිනා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා කිව්වා කවුරු කොහොම කිව්වත් බණ්ඩාරණායක මහත්තයා දක්ෂ නිලධාරියෙක්. එයා පොරොන්දු වුනා ගෙයක් හදලා දෙන්න. ඒක නැති කරගන්න බෑ. ඒ නිසා මිනිය අරන් පාරට යන්න එපා කියලා. ඒ නිසා මිනිස්සු කරන්න හිටපු වැඩේ නැවතුනා.
දවස් තුනකට පස්සේ අපේ නිලධාරීන්ගේ පෙර කියපු සභාව රැස්වුනා. මම හැම දෙනාටම ඉල්ලීමක් කලා. මේ මියගිය අයගේ පවුලට ඉඩමක් නෑ. ගෙයක් නෑ. මම පොරොන්දු වුනා ගෙයක් හදලා දෙන්න. අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. හැමෝම එකඟ වුනා.
සංස්කෘතික අරමුදලේ කළමණාකරු මේජර් නිශාන්තමහතා එයා සැලසුමයි ශ්‍රමයයි දෙන්න එකඟ වුනා. ගුවන් හමුදාව ශ්‍රමය ලබා දෙන්නත්, විදුලි බල මණ්ඩලය සුබ සාධකය හරහා විදුලිය ලබා දීමටත්, ජල සම්පත් මණ්ඩලය ජලය ලබා දිමටත් එකඟ වුනා. පශු වෛද්‍ය තුමා කුකුල් පාලනය හා ගව පාලනය හරහා ආදායම් උපදවා ගන්න ක්‍රමවේදය සකසා දෙන්න පොරොන්දු වුනා. වන සම්පත් දෙපාර්තමේන්තුව ගල් හා වැලි ලබා දීමටද වනජීවී දෙපාර්තමේන්තුව සංස්කෘතික අරමුදලෙන් ඉවත් කරන්නට තිබුණු ගස් කිහිපයක් කපා ගන්නට අවස්ථාවද ලබා දුන්නා. නිවාස සංවර්ධන අධිකාරියෙන් ලක්ෂ 3ක් මුදලින් ලැබුණා. වනජීවී දෙපාර්තමේන්තුවේ වන්දිය විදියට ලක්ෂ 5ක් මුදලින් ලැබුණා. අපි සුදුසු ඉඩමක් හොයා ගත්තා.
ගෙදර වැඩ පටන් ගත්තේ තුන් මාසයකින් වැඩ ඉවර කරනවා කියන අධිෂ්ඨානය එක්ක. මාස තුනකටත් ඉස්සර කාමර 3යි, කුස්සියයි, කෑම කාමරයයි, වැසිකිලියයි තියෙන සිවිලින් ගහපු ලස්සන ගෙයක් හදන්න අපට පුළුවන් වුනා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගත්තා.
අපි මාස තුන සම්පුර්ණ වුන දවසේ උත්සවයක් පවත්වලා ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලධාරීන් සහභාගී වෙලා ඒ පවුලට නිවස ලබා දුන්නා.
මට මේ කතාවෙන් අදහස් කළේ හොඳ සම්බන්ධීකරණයක් තුලින් මිනිසුන්ට හොඳ සේවයක් සපයන්න පුළුවන් කියන එකයි. එවිට මිනිසුන්ගෙන් අපේ රාජකාරී වැඩ වලටත් හොඳ සහයක් ලැබෙනවා. මම අධ්‍යාපන වැඩ සටහන් වගේ දේවලුත් සිදු කලත් මේ නිවෙසක් හදා දීම මගේ මතකයේ හැමදාම තියෙන සුන්දර අවස්ථාවක්.
චන්ද්‍රා බණ්ඩාරණායක මහතා වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ 1986දීය. පළමුව වස්ගමුව ජාතික උද්‍යානයේ සේවය කළ ඔහු දෙවනුව ගිරිතලේ වනජීවී කේන්ද්‍රයේ වසර 10ක් සේවය කළේය. මේ අනතුරේදී කම්කරුවෙකු ලෙස රැකියාවට බැඳුණු ඔහු වනජීවී නියාමක වරයෙකු ලෙස උසස්වීම් ලැබීය. මාතලේ, හම්බන්තොට, ඇලහැර ප්‍රදේශ වල අඩවි සහකාර වරයෙකු වශයෙන් සේවය කල චන්ද්‍රා බණ්ඩාරණායක මහතා 2015 දී උසස් වීම් ලබා අඩවි ආරක්ෂකවරයෙකු ලෙස සීගිරිය අභය භූමිය කලාපයේ සේවය කළේය.
ඔහු වනජීවී දෙපාර්තමේන්තුව මඟින් මෙහෙය වන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවේය. සියළුදෙනා සමඟ සුහදත්වයෙන් කටයුතු කිරීම ප්‍රිය කරන බණ්ඩාරණායක මහතා තමාගේ සේවය සම්බන්ධයෙන් අතිශයෙන් තෘප්තිමත්ය.
බණ්ඩාරණායක මහතාගේ ප්‍රිය බිරිඳ මාතලේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවය කරන ආර්.එම්. සකුන්තලා රත්නායක මහත්මියයි. වැඩිමහල් පුතා දිනුෂ බණ්ඩාර, විදේශ රැකියාවක නිරත අතර බාල පුතා එරන්දක බණ්ඩාර මාතලේ හෝටල් පාසලේ ඉගෙනුම ලබයි.
ඔහුගේ ලිපිනය ආර්.එම්.සී.බණ්ඩාරණායක, 193/1,පල්ලේ වෙහෙරගම, කයිකාවල, මාතලේ වේ.
සීගිරිය අභයභූමිය ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවතේ පිහිටා ඇති අතර එය වසර දහස් ගණනක් පැරණි පුරාණ ස්මාරක වලින් වටවී ඇත. මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු පෙදෙසට වන්නට පිහිටා ඇති1990.01.26 වෙනිදා සීගිරිය අභයභූමිය ලෙස නම් කරන ලදමෙම ප්‍රදේශය සීගිරිය පර්වතය, සීගිරිය පර්වතය අවට මෙන්මපිදුරංගල පර්වතය හා පිදුරංගල පර්වතය අවට හෙක්ටයාර් 5,099 ක වනාන්තරවලින් මෙන්ම ජල මූලාශ්‍රවලින් සමන්විත වේ. එමෙන්ම එය යුනෙස්කෝ ලෝක උරුමයක් වේ.
සීගිරිය පර්වතය පාමුල පිහිටි වනාන්තරය ආවේණික, නේවාසික සහ සංක්‍රමණික පක්ෂි විශේෂ විශාල සංඛ්‍යාවකගේ ප්‍රියතම වාසස්ථානයකි.මෙලෙස සීගිරිය අභයභූමිය පුරාණ පිදුරංගල විහාරස්ථානයට යන බැතිමතුන්ට උපකාර වන වනාන්තර, වැව්, ඇළ මාර්ග සහ අවට මාර්ග පද්ධතියකින් සමන්විත වේ.
සීගිරිය අභයභූමියේ විශාල කොටසක් තවමත් නොවෙනස්ව පවතින අතර සීගිරි පර්වතය පාමුල ඇති රළු භූමි ප්‍රදේශය වන ජීවීන් විශාල සංඛ්‍යාවකගේ වාසස්ථානය වේ.
ඝන වියනක්, ඉහළ වියනක් සහ යටි පඳුරු සහිත ඝන ශාක පත්‍ර ඇති සිංහරාජ වැසි වනාන්තරය ශ්‍රී ලංකාවේ පක්ෂීන් නැරඹීම සඳහා හොඳම ස්ථානවලින් එකකි. සිංහරාජ වැසි වනාන්තරය තරම් ඝන වනාන්තරයක් නොමැති සීගිරි වනාන්තරයේ ඇති විශේෂත්වය වන්නේ මෙහිපක්ෂීන් හඳුනා ගැනීම සිංහරාජයට වඩා ඉතා පහසු වීමය.වියළි කලාපීය වනාන්තරයක් වන සීගිරියේ දක්නට ලැබෙන සමහර පක්ෂීන් වැසි වනාන්තරවල දැකිය නොහැක. සීගිරි කැලෑ ගමන පැය තුනක් පමණ පවතින අතර එම කාලය තුළ නරඹන්නන්ට පක්ෂි විශේෂ දුසිම් ගණනක් දැකගත හැකිය. සීගිරිය අභයභූමියේ සුලභ සහ දුර්ලභ මෙන්ම ආවේණික, නේවාසික සහ සංක්‍රමණික පක්ෂි විශේෂ 120 ක් පමණ වාසය කරති. මෙම විවිධත්වය නිසා සීගිරි අභයභූමියේ වැදගත්කම ඉතා ඉහළ ගොස් ඇත.
සීගිරිය අලි ඇතුන්
සීගිරි පක්ෂීන් නැරඹීමේ චාරිකාව පැය පහක් පමණ පවතින අතර සීගිරිය පර්වත බලකොටුව අවට විශාල ප්‍රදේශයක් මින් ආවරණය කරයි. පක්ෂීන් නැරඹීමේ චාරිකාව ආරම්භ වන්නේ සීගිරිය වැව අසලින් වන අතර එය පක්ෂීන් විශාල සංඛ්‍යාවක් නැරඹීමට හොඳම ස්ථානයකි.මෙහි දක්නට ලැබෙන සුලභ පක්ෂීන් සමහරක් නම් ගව කොකා,කිරලා, ලාතුඩු පිළිලිච්චා, පොදු අයෝරාවා,ළය කායුරු වී කුරුල්ලා,බළල් සේරා,අභිකාවා,මල් පිළිහුඩුවා,කළුකිච්චා,පාදිලි මානාවා, බ්‍රාහ්මණ උකුස්සා වේ. මෙහි ආවේණික පක්ෂි විශේෂ හතක් දක්නට ලැබේ.
සීගිරිය අභයභූමිය තුල පරිසර විවිධත්වය දැකිය හැකි අතර ශාක විශේෂ විවිධත්වය අඩුය. මෙහි ශාක ප්‍රජාව අර්ධ සදාහරිත වනාන්තර වේ. මොර, කුණුමැල්ල, වැලිවැන්න,තැඹිලිය, දික්වැන්න,වෙළඟු, කරණ, වීර වැනි වෘක්ෂ ද බෝපන, උල්කෙන්ද, කොරකහ, ගල්හිඹුටු, ගස් කැප්පෙටියා වැනි පඳුරු ද බහුලව හමුවේ. එමෙන්ම මිල්ල, හල්මිල්ල,කෝන්, පලු වැනි වෘක්ෂ ද හමුවේ.
සංචාරක මඟපෙන්වන්නන්ගෙන් කැලෑ කඳු නැගීම සහ පක්ෂීන් නැරඹීමේ චාරිකා සඳහා මගපෙන්වීම ලබා ගත හැක.ඔබ සීගිරියේ දින කිහිපයක් ගත කිරීමට සැලසුම් කර ඇත්නම්, සීගිරි වනාන්තරය ගවේෂණය කිරීමට සහ වන සත්ත්ව හා වෘක්ෂලතා අත්දැකීම ලබා ගැනිමට යම් කාලයක් වෙන් කිරීම වැදගත් වේ.සීගිරිය පර්වතය, පිදුරංගල පර්වත විහාරය නැරඹීම, සීගිරිය වැව ගවේෂණය කිරීම සහ එහි පාරිසරික ප්‍රවේශය පිළිබඳ හැඳින්වීම ඔබට ප්‍රයෝජනවත් වේ.සීගිරි පර්වත බලකොටුව ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස දක්වා දිවෙන භූ දර්ශන සහිත උද්‍යානයකින් යුත් හොඳින් සැලසුම් කළ නගරයක් විය. අද එය දිවයිනේ වැඩිපුරම නරඹන්නන් සංඛ්‍යාවක් සංචාරය කරන ස්ථානවලින් එකකි. හිරු උදාව හෝ හිරු බැස යෑමේ දර්ශන භුක්ති විඳීමට උදේ පාන්දර හෝ සවස් යාමයේ කඳු නැගීම ආරම්භ කිරිම උචිත වේ. දෙස් විදෙස් පරිසර ලෝලීන් අතර මහත් ප්‍රසිද්ධියට පත් සෞන්දර්යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත් සිගිරිය අභය භූමියනැරඹිමට ඔබත් පැමිණෙන්න.
පසුගිය දශක කිහිපය තුළ ප්‍රධාන වශයෙන් මිනිස් ජනාවාස ව්‍යාප්තිය හේතුවෙන් සීගිරිය අවට වන ප්‍රදේශය බොහෝ සෙයින් අඩු වී ඇත.ගම්මානයේ ජනගහනය වැඩි වීමත් සමඟ සීගිරිය රක්ෂිතයේ කොටසක් ඉලක්ක කර ගනිමින් වන විනාශය ද සිදු වී ගොවිබිම් ව්‍යාප්ත වෙමින් පවති. වනාන්තරයේ කොටසක් නිරන්තරයෙන් එළිපෙහෙළි කිරීම යනු වන ජීවීන්ගේ ජීවමාන වාසස්ථානයෙන් කොටසක් අහිමි වීමයි. අලි වැනි වන ජීවීන්ගේ වාසභූමියෙන් කොටසක් උදුරා ගැනිම වල් අලි, වල් ඌරන් වැනි මෙම නිජබිම වැසියන් නැවත ආහාර හා ජලය සොයා වරින් වර තම භූමියට කඩා වැදීම සිටීම නිවාස හා වගාවන්ට දැඩි හානි සිදු වීමට බලපානු ලබයි. මෙම වනභූමිය රැකගැනීම අවට ජනවාසීන් උත්සුක විය යුතුය.
Sinhala Names | Tamil Names | English Names | Scientific Name |
අලියා | ஆசிய யானை | Asian elephant | Elephas maximus |
ගව කොකා | உண்ணிக் கொக்கு | Cattle Egret | Bubulcus ibis |
කිරලා | சிவப்பு மூக்கு ஆள்காட்டி | Red-wattled Lapwing | Vanellus indicus |
ලාතුඩු පිළිලිච්චා | திக்கெல்லின் பூங்கொத்தி | Pale-billed Flowerpecker | Dicaeum erythrorynchos |
පොදු අයෝරාවා | மாம்பழச்சிட்டு | Common Iora | Aegithina tiphia |
ළය කායුරුවී කුරුල්ලා | புள்ளித் தினைக்குருவி | Scaly-breasted Munia | Lonchura punctulata |
බළල් සේරා | நீளவால் தாழைக்கோழி | Pheasant-tailed Jacana | Hydrophasianus chirurgus |
අභිකාවා | பாம்புத்தாரா | Oriental Darter | Anhinga melanogaster pennant |
මල් පිළිහුඩුවා | சிறு நீல மீன்கொத்தி | Common Kingfisher | Alcedo atthis |
කළුකිච්චා | கருஞ்சிட்டு | Indian Robin | Saxicoloides fulicatus |
පාදිලි මානාවා | வெண்கழுத்துநாரை | Woolly-necked Stork | Ciconia episcopus |
බ්‍රාහ්මණ උකුස්සා | செம்பருந்து | Brahminy Kite | Haliastur indus |
සුදු රෙදි හොරා | அரசவால் ஈப்பிடிப்பான் | White Indian flycatcher | Terpsiphone paradisi |
Sinhala Name | Tamil Name | English Name | Scientific Name |
මොර | நுரை | Longan, Dragons eye | Dimocarpns longan |
කුණුමැල්ල | இறும்பிலி | Bastard Ebony | Diospyros ovalifolia |
වැලිවැන්න | தென்துக்கி | Jodpakli | Dimorphocalyx glabellus |
තැඹිලිය | இளநீர் | Rox burgh’s cherry | Eugenia bracteata |
දික්වැන්න | வித்பனி | Thwaites | Diplodiscus verrucosus |
වෙළඟු | வெண்ணங்கு | Fishing rod tree | Pterospermum suberifolium |
කරණ | குரவம் | – | Tarenna asiatica |
වීර | வீரை | Hedge Box wood | Drypetes sepiaria |
බෝපන | கொஞ்சி | Orange berry | Glycosmis mauritiana |
උල්කෙන්ද | உலுவேந்தம் | Dunal | Polyalthia korinti |
කොරකහ | காசன் | Iron wood tree | Memecylon umbellatum |
ගල්හිඹුටු | பொங்கொரந்தி | Oblong leaf salacia | Salacia oblonga |
ගස් කැප්පෙටියා | தெப்பத்தி | Croton oil tree | Croton laccifer |
මිල්ල | காட்டு நொச்சி | Milla | Vitex altissima |
හල්මිල්ල | சாவண்டலை மரம் | Halmilla | Berraya cordifolia |
පලු | பாலை | Palu | Manilkara hexandra |
කොන් | பூக்கம் | Ceylon oak | Schleichera oleosa |
සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඡායාරූප- ජනක ජයසේකර
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |