简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

39 වන කථාංගය – අංගංමැඩිල්ල ජාතික උද්‍යානය

Content Image
මදැයි මහයියාව වැවේ ලස්සන බැලුවා.
 

මම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනේ2007 ජනවාරිදහවැනිදා වන සත්ත්ව නියාමකවරයෙකු ලෙසයි. අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ වනසත්ත්ව අඩවි සහකාරවරයෙක්විදියට2022වසරේ පෙබරවාරී පළමු වැනිදාසිට වැඩ කළා.

අවුරුදු දාහතක සේවා කාලයක් තුළ මම වනජීවී සංරක්ෂණය පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට හා කතා කිරීමට බැරි ගහකොළ හා සතා සිව්පාවුන් රැක ගැනීම සඳහා අපරිමිත ලෙස වෙහෙස මහන්සි වී කටයුතු කළා. ඒ වාගේම අංගම්මැඩිල්ල ජාතික උද්‍යාන මුලස්ථානයේ රාජකාරී කටයුතු වල යෙදී සිටීයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතාමත් අඩු කාර්ය මණ්ඩලයක් සමඟයි.

ඒ අතරතුර කාලයේදී මම 2022.04.30 වන දින උද්‍යාන භාරකරුගේ උපදෙස් අනුව මුර සංචාරකයක් සඳහා පාගමනින් උදෑසන 6.45ට පමණ පිටත් වුනා. මා සමඟ ක්‍ෂේත්‍ර සහකාර සම්පත් ගීත් රණවීර ආර්.එන්.එම්.එස්.චන්දන හා කේ.පී.සුමිත් සම්පත් යන අනෙකුත් නිලධාරීන් හිටියා. අපි ගිනි අවියක්ද රැගෙන ගියා. අපි උද්‍යාන මාර්ගය හරහා මහයියාව වැව සමීපයට පා ගමනින් පිටත්වුනේ අනවසරයෙන් උද්‍යානයට ඇතුල්වන දඩයම්කරුවන් හා මසුන් මරන්නන් පිළිබඳව තොරතුරු සොයා බැලීමටයි.

අදාල මහයියාව ස්ථානයට ලගා වන විට වේලාව දහවල් 11.15 පමණ වුනා. අපිට වෙහෙස මහන්සියක් නොදැනුනේ උදෑසනින්මගමන ආරම්භ කල නිසා. මහයියාව වැව හරහා හමන සුළඟ අපේ වෙහෙස නිවා දැමුවා. අපි සියළුදෙනා මහයියාව වැව ලඟ ගිමන් ගැනීමටස්ථානයක් සොයා ගෙන එතැනදී දහවල් ආහාරය ලබා ගත්තා. කුරුළු ශබ්ද හැරුණු විට වනය පුරාම නිශ්ශබ්දතාවයන් පැතිර තිබුණා. මහයියාව වැව් ප්‍රදේශයේ තවදුරටත් රැදී සිටියදී අපි දුටුවේ මහයියාව වැවට බීමට ජලය සොයා පැමිණෙන විශාල ඇතෙක්. සොබාදහමේ අසිරිය විද ගනිමින්අපි මේ ඇතා දිහා බලා හිටියා. තේජාන්විත ඇතා ජලය පානය කර දිය නාන අයුරු හැබෑ සුන්දර දර්ශනයක්. අපි සියළුදෙනා තවදුරටත් අවට ප්‍රදේශය පරීක්ෂා කලත්සැක කටයුතු කිසිවක්දකින්නට ලැබුනේ නැහැ. එදා මහයියාව වැව් බැම්ම මත රාත්‍රියට සුදානම් කර ගත් පාන් සමඟ පොල්සම්බල් ආහාරයට ගෙන එම ස්ථානයේ රාත්‍රී නවාතැන් ගත්තා.

අපි පසුදා උදෑසන නැවත සේවා ස්ථානය බලා ගමන් ඇරඹුවා.මහයියාව වැව ආසන්නයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ ගියාට පස්සේ අපට ඇසුනේ ගස්වල ඉති කඩන ශබ්දයක්. ඒ ගැන හොඳින් පරීක්ෂාවෙන් සිටි අපි එහි වල් අලියෙක් සිටින බව තේරුම් ගත්තා. අපි සියළුදෙනා එම අලියා මඟහරිමින් වෙනත් මාර්ගයකින් ගමන් ගත්තත් නැවතත් අපි ඉදිරියේ වල් අලියෙකු පෙනී සිටියේ එකපාරටම වගේ. අපට දුවගන්නවත් වේලාවක් නැහැ. භියෙන් භ්‍රාන්ත වුනත් අපි වහාම අනිත් පසට හැරී දුවන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේ මම ඉදිරියෙන්ම ගමන් ගත්තේ. ගිනි අවිය තිබුණේ මා අත. අනෙකුත් නිලධාරීන් මාගේපස්සෙන් හිටියේ. පස්ස හැරිලා බලනකොට අලියා පස්සෙන්පන්නගෙන එනවා. අපි දෙගොල්ලෝ අතර වැඩි ඉඩක් නැහැ. මට හිතෙන්නේ එදා දුවපු දිවිල්ලේ හැටියට දිවීමේ තරඟයකට ගියා නම් ජයග්‍රහණය කරනවා. මට එකපාරටම ගිනි අවිය මතක් වුනා. පොඩ්ඩක් දිවිල්ල අඩු කරලාමම ගිනි අවියෙන් අහසට වෙඩි තැබුවා.භය වුන අලියා කැලය තුලට දිව්වා. ඉන් පස්සේ මමඅනෙක් පිරිස හෙව්වා. එක් අයෙක් ගසක් උඩ නැග හිටියා. අනිත් දෙදෙනා සෙවුවත් ඒ දෙදෙනා සොයා ගන්නට නොහැකි වුනා. ඒ දෙදෙනාට අලියා විසින් පහර දුන්නාද යන්න කියන බයෙන් ඔවුන්ට දෙදෙනාට  දුරකථන ඇමතුම් ගත්තා. නමුත්ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නෑ. අපි ඔවුන් පිළිබඳව බයෙන් ඔවුන්ව සොයමින් වරින් වර හු හඩ නඟමින්පැයක පමණ කාලයක් කැලය තුළ රැදී සිටියා. පස්සේ අපට ඔවුන්ගේ හු හඬින් පිළිතුරු ලැබුණා. හූ හඩ ඔස්සේ ගමන් කර සෑහෙන වේලාවකට පස්සේ අපිට එම නිලධාරීන් දෙදෙනා හමු වුනා. එහිදී එක් නිලධාරියෙකුගේ වම් පාදය උලුක්කු වී තිබුණා. අනෙක් නිලධාරියාද එම ස්ථානයේම ඔහුට උදව්වට රැදී සිටියා. අපි පාදය උළුක්කු වු නිළධාරියා ඔසවා ගෙන උද්‍යාන මාර්ගයට ආවා.උස ගසකට නැඟලා දුරකථනයෙන් රියදුරු මහතාටකතා කළා. සිද්ධිය විස්තර කරලා වාහනය එම ස්ථානයට ගෙන්වා ගත්තා. වන අලියා පැන්නීමෙන් පාදය උළුක් වු නිලධාරියා ඔසවා වාහනය තුලට දමා ගෙන අපි උද්‍යාන මුලස්ථානය හරහා සේවා ස්ථානයට උදේ 7ට පැමිණියා.

මෙය වසර දාහතක පමණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා කාලය තුල මා ලද බිහිසුණු අත්දැකීමක්.

කෙසේ වුනත් අලියාටත් අපටත් අනතුරක් නැතිව සිද්ධිය නිමා වීම ගැන සන්තෝෂයි.

එම්.එම්.තුසිත දම්මික බණ්ඩාර මහතා

තුසිත දම්මික බණ්ඩාර මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේ 2007 වසරේදී ශ්‍රී ලංකා වනසත්ව නියාමකවරයෙකු ලෙසය.ඔහු2022 වසරේ සිට වනසත්ව අඩවි සහකාරවරයෙකු ලෙස අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ රාජකාරි ආවරණය කළේය.

තුසිත දම්මික බණ්ඩාර මහතා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත් වී පලුගස්දමන මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.

ඔහු 2009 වසරේදී වනජීවී කළමණාකරණ කණිෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාවද හදාරා ඇති අතර මේ දක්වා වෙනත් රජයේ පුහුණු වැඩසටහන් වලට සහභාගී වී ඇත.

තුසිත දම්මික බණ්ඩාර මහතා පවුලේ එකම දරුවා වන අතර ඔහු විවාහකයෙකි.

ඔහුගේ ලිපිනය අංක 233, අකුණු ඇල, පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුව වේ.  

ඔහුගේ දුරකථන අංකය 0718378737වේ.

 

අංගංමැඩිල්ල ජාතික උද්‍යානය

උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරාක්‍රම සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයේ පිහිටා ඇති අංගම්මැඩිල්ල 2006 ජුනි 06 වන දින ජාතික උද්‍යානයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනලදි.

 දිගු අං ඇති කුළු හරකුන් වාසය කරනු ලබන ප්‍රදේශයක් ලෙස මෙය ප්‍රචලිත වේ.සිය රැළේ නායකයා හෙවත් වසමේ අයිතිකාරයා කවුරුන්දැයි තෝරා බේරා ගැනීම සඳහා තම සුවිසල් අං හප්පා ගනිමින් ද්වන්ධ සටන් මොවුන් අතර ඇති වන අතර, ඉන් ජය ගන්නා ගවයා රැළේ නායකයා ලෙස පත් වේ.මේ සඳහා සිය අං තියුණු කර ගැනීමට ඔවුන්ගේ අං නිරන්තරයෙන් ගස්වල අතුල්ලනු ලබයි.‘අං අතුල්ලන ගමේ ලිය මඩුල්ල’ අංගංමඩුල්ල බවටත් එය පසු කාලීනව අංගංමැඩිල්ල බවටත් පත් වී ඇති බව ජනප්‍රවාද අනූව දක්වයි.

කුළු හරකා (Bubalusarnee)

මෙම ජාතික උද්‍යානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වනුයේ පරාක්‍රම සමුද්‍රයෙහි ජල පෝෂක ප්‍රදේශයෙන් ස්ථාපනය කර ඇති අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය මූලාශ්‍ර සුරක්ෂිත කිරීම,පාංශු හායනය වැළැක්වීම, වස්ගොමුව හා මින්නේරිය යන ජාතික උද්‍යාන අතර අලි මං පෙතක් ලෙස සැකසීම, පරාක්‍රම සමුද්‍රය වෙත ජලය සැපයෙන යෝධ ඇළ මාර්ගය අවට පරිසරය ආරක්ෂා කිරීම යනාදී කරුණු වේ.

මෙම ප්‍රදේශයට ජුනි-සැප්තැම්බර් කාලයේදී වර්ෂාපතනය නොලැබෙන අතර සැප්තැම්බර් – ජනවාරි මාසවල මෝසම් වර්ෂාව ලැබේ.වාර්ෂික වර්ෂාපතනය මි.මී.1500-2000 අතර දැකිය හැකිය.වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 -29 පරාසයක පවතී.මෙම ජාතික උද්‍යානය තුළ නටඹුන් වී ඇති වෙහෙර විහාර හා ගල් කණු මඟින් පොළොන්නරු යුගයේ මෙම ප්‍රදේශය ඉතා දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ බවට සාක්ෂි දරයි.

උද්‍යානය තුළ තෙත් හා වියළි කාලගුණයක් දැකිය හැකි අතර තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ මිශ්‍ර වනාන්තර මෙහි දක්නට ලැබේ.ජලාශය හා යෝධ ඇළ ආශ්‍රිතව කෘත්‍රිම තෙත් බිමක් නිර්මාණය වී ඇති බැවින් එහි තෙත්බිම් වනාන්තරවල ලක්ෂණ ද දක්නට ලැබේ. මෙහි වියන් සහිත ශාක දැකිය හැකි වේ.එමෙන්ම මෙහිනොසිඳෙන උල්පත් ජලය දැකිය හැකිය.එය වියළි කාලයේ පවා නොසිඳී පවතී.එම නිසා මෙහි වියළි සදාහරිත වාන්තරයන් හි දැකිය හැකි වෘක්ෂලතාවන්ගෙන් සමන්විත වනාන්තරය ද පවතී.එසේම වියළි කලාපයට ආවේණික වීරHedge boxwood (Drypetessepiaria), පලු Ceylon iron woodmilk tree (Manilkarahexandra), කුඹුක්Kumbuk (TerminaliaArjuna),වෑවරණKalumadiriya (Alseodaphnesemecarpifolia), තම්මැන්නාThammanna (Mischodonzeylanicus), කළුවරEbony (Diospyrosebenum), කළු මැදිරියKalumadiriya (Diospyrosquaesita), සියඹලා Tamarind (Tamarindusindica), මිල්ලMilla (Vitexaltissima), හල්මිල්ලHalmilla (Berryacordifolia), හික් Indian ash tree (Lanneacoromandelica) ආදී ශාක විශේෂ මෙන් ම කුරටියKuratiya (PhyllantusPolyphyllus), ඇහැළ Golden shower(Cassia fistula)ආදී ශාක විශේෂයන් ද දැක ගත හැකි වේ.

මෙම ජාතික උද්‍යානයමනා ජල පෝෂක ප්‍රදේශයක් බැවින් පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ල තෘණ පඳුරුවලින් සමන්විත වේ.මෙම ජාතික උද්‍යානය හරහා වැටී ඇති අලි මං පෙත හේතුකොටගෙන මෙහි වන අලින් Asian elephants(Elephasmaximus) බහුලව වාසය කරති.අලින්ටඅමතරව දිවියා Leopard (Pantheraparduskotiya), වළහා Sloth bear (Melursusursinus), කුළු හරකා Wild buffalo (Bubalusarnee), තිත් මුවාSpotted dear (Axis axisceylonensis), ගෝනාSambar (Rusa unicolor), කොළ දිවියා Rusty- spotted cat (Felisrubginosa),නරියා Sri Lanka Jackal (Canisaureus), මුගටියාMangooseSps. (HerpestesSps.)සහ අළු උණ හපුළුවා Grey slender loris (Loris lydekkerianus)වැනි ක්ෂීරපායි සතුන්ද, නයාCobra (Najanaja), තිත් පොළඟා Russell’s viper (Viperarusselli), කරවලා Ceylon krait (Bungarusceylonicus), කුණ කටුවාHump nosed viper (Hypnalehypnale), සහ පිඹුරාPython (Python molurus) ආදී සර්ප විශේෂයන් ද, තාරකා ඉබ්බන් Star tortoise (Geocheloneelegans) , ගල් ඉබ්බන් Hard shelled terrapin (Melanochelystrijuga), කිරි ඉබ්බන් Soft shelled terrapin (Lissemyspunctata) ආදීන් ද මෙය තම වාසභූමිය බවට පත් කරගෙන සිටිති.

අලියා(Elephasmaximus)

තිත් මුවා (Axis axisceylonensis)

විශේෂයෙන් ම පරාක්‍රම සමුද්‍රය ආසන්න ප්‍රදේශයේ කැදලි තැනීමට පැමිණෙන දේශීය පක්ෂීන් මෙන් ම සංක්‍රමණික පක්ෂීන් ද සුලබව දැක ගැනීමේ හැකියාව පවතී.වලි කුකුළාSri lankajunglefowl (Gallus lafayetill), රාජාලියා Eagle Sps., උකුස්සා Kite Sps. සේම බකමූණන් Owl Sps.,කොක්කු Egret Sps., සේරු Teal Sps. හා දිය කාවන් Indian Cormorant (Phalacrocoraxfuscicollis) වැනි ජලාශ්‍රිත පක්ෂීන් ද මෙහිදී බහුලව දැක ගැනීමට අවස්ථාව උදා වේ.

වනෝද්‍යානයේ පිහිටි වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානය ලෙස සැලකෙන්නේ පුරාණ අමුණ යන වාරි ස්ථානයයි. උද්‍යානය ප්‍රකාශයට පත් කිරීමට පෙරත් නරඹන්නන් මේ ස්ථානයට පැමිණියේ මේ පැරණි වාරි වික්‍රමය දැක බලා ගැනීමටයි. පැරණි අමුණු අවට විශාල ගස්වැල් බහුල නිසා එය ගම්වැසියෝ රජ බැම්ම කියා හඳුන්වනු ලබති.

මෙම සුන්දර වන පියසට පිවිසීම සඳහා කොළඹ, කුරුණෑගල, උඩුමුල්ල සිට හබරණට පැමිණ හබරණ සිට පොළොන්නරුව මාර්ගයේ අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයට පැමිණිය හැකිය. කොළඹ සිට මෙම ජාතික උද්‍යානය සඳහා දුර කි.මී.225 කි. එසේම මෙම ජාතික උද්‍යානය පෙ.ව.6.00 සිට ප.ව.6.00 දක්වා විවෘතව පවතී.

මෙහිදී කළහගල වනජීවී මූලස්ථාන කාර්යාලය අබියසින් පා ගමනින්, ජෛව විවිධත්වයෙන් අනූන සුදු කන්ද තරණය කිරීමටත්, අඹන් ගඟ දිගේ රජ බැම්ම පිහිටි ‌ෙඑතිහාසික ස්ථානයට ළඟා වීමටත්, රදවිගේ ඔය ඔස්සේ සුදු කන්ද හරහා යළිත් කළහගල උද්‍යාන මූලස්ථානය වෙත පරිසරයේ සුවැති සිහිල විඳ ගනිමින් ළඟා විය හැකිය. විශේෂයෙන් ම මෙම සංචාරයේ දී මඟ තොට හමුවන ශාක හා සත්ව ප්‍රජාව මෙන් ම රජ බැම්ම ඔබට දැක බලා ගත හැක.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක මඟ පෙන්වීමේ නිලධාරියෙකුගේ සහයද නිරන්තරයෙන්ම ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී.

අංගංමැඩිල්ලජාතිකඋද්‍යානයපිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

சோமாவதிய தேசிய பூங்காதொடர்பான விளக்கத்தில் காணப்படும் விலங்குகளின் பெயர்ப் பட்டியல்

List of animals in the Anganmadilla National Park

Sinhala Names

Tamil Names

English Names

Botanical Name

අලින්

யானைகள்

Asian elephants

Elephasmaximus

දිවියා

சிறுத்தை

Leopard

Pantheraparduskotiya

වළහා

தேன் கரடி

Sloth bear

Melursusursinus

කුළු හරකා

காட்டெருமை

Wild buffalo

Bubalusarnee

තිත් මුවා

புள்ளி மான்

Spotted dear

Axis axisceylonensis

ගෝනා

மரை

Sambar

Rusa unicolor

කොළ දිවියා

துரும்பன் பூனை

Rusty- spotted cat

Felisrubginosa

නරියා

செந்நரி

Sri Lanka Jackal

Canisaureus

මුගටියා

கீரிப்பிள்ளை

MangooseSps.

HerpestesSps

අළු උණ හපුළුවා

சாம்பல் தேவாங்கு

Grey slender loris

Loris lydekkerianus

නයා

நாகம்

Cobra

Najanaja

තිත් පොළඟා

கண்ணாடி விரியன்

Russell’s viper

Viperarusselli

කරවලා

எண்ணை விரியன்

Ceylon krait

Bungarusceylonicus

කුණ කටුවා

திமில்  மூக்கு குழிவிரியன்

Hump nosed viper

Hypnalehypnale

පිඹුරා

மலைப்பாம்பு

Python

Python molurus

තාරකා ඉබ්බන්

நட்சத்திர ஆமைகள்

Star tortoise

Geocheloneelegans

ගල් ඉබ්බන්

கறுப்பு ஆமைகள்

Hard shelled terrapin

Melanochelystrijuga

කිරි ඉබ්බන්

பால் ஆமைகள்

Soft shelled terrapin

Lissemyspunctata

වලි කුකුළා

காட்டுக்கோழி

Sri lankajunglefowl

Gallus lafayetill

රාජාලියා

பொன்னாங் கழுகு

Eagle Sps.,

 

උකුස්සා

பருந்து

Kite Sps.

 

බකමූණන්

ஆந்தைகள்

Owl Sps.

 

කොක්කු

கொக்குகள்

Egret Sps.

 

සේරු

குள்ளத்தாராக்கள்

Teal Sps.

 

දිය කාවන්

நீர்க்காகங்கள்

Indian Cormorant

Phalacrocoraxfuscicollis

අංගංමැඩිල්ලජාතිකඋද්‍යානයපිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

சோமாவதிய தேசிய பூங்காதொடர்பான விளக்கத்தில் காணப்படும் தாவரங்களின் பெயர்ப் பட்டியல்

List of trees in the Anganmadilla National Park             

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

වීර

வீரை

Hedge boxwood

Drypetessepiaria

 

පලු

பாலை

Ceylon iron wood

Drypetessepiaria

කුඹුක්

வெண் மருது

Kumbuk

TerminaliaArjuna

වෑවරණ

கணைப்பிரண்டை

Nelthare

Alseodaphnesemecarpifolia

තම්මැන්නා

தம்பனை

Thammanna

Mischodonzeylanicus

කළුවර

கருங்காலி

Ebony

Drypetessepiaria

කළු මැදිරිය

பதுரங்கலி

Kalumadiriya

Diospyrosquaesita

සියඹලා

புளிய மரம்

Tamarind

Tamarindusindica

මිල්ල

காட்டுநொச்சி

Milla

Vitexaltissima

හල්මිල්ල

சவண்டலை

Halmilla

Berryacordifolia

හික්

உதிய மரம்

Indian ash tree

Lanneacoromandelica

කුරටිය

சிறுநெல்லி

Kuratiya

PhyllantusPolyphyllus

ඇහැළ

கொன்றை

Golden shower

Cassia fistula

සංස්කාරක– දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති),වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,

මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව      

දෙමළ පරිවර්තනය-ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය- අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම-සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ, කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- රෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව