简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

40 වන කථාංගය – රැකව අභයභූමිය

Content Image

විඩාබර සුන්දර දිනයක්

මම2020 අගෝස්තු 11 වෙනිදා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂ තනතුරට පත් වුනා. මම මුලින්ම සේවය සඳහා ලැබුණේ සංචාරක අංශය. නමුත් ඒ වෙනකොට මම හිටියේ දරුවෙක් ලැබෙන්න. මාස 8යි. ඒ නිසා බබා ලැබෙන්න මටනිවාඩු ගන්න සිදු වුනා. ඒ සමඟ කොරෝනා වසංගතයක් ආවා. ඒ නිසා නිවාඩු ඉවර වෙලා මම නැවත රාජකාරියට එන්න ලැබුණේ 2020 ඔක්තෝම්බර් 10 වෙනිදා.

පසුව මට ලැබුණේ සමුද්‍ර අංශය. මම උපාධියට ජෛව විද්‍යා සංරක්ෂණය හැදෑරුවට සමුද්‍ර අංශය සම්බන්ධයෙන් මට වැඩි දැනුමක් තිබුණේ නෑ. ඒ නිසා ඉගෙන ගනිමින්ම රාජකාරි කලා.

දවසක් අධ්‍යක්ෂ ජනරාල් තුමා මට කතා කරලා කිව්වා රැකව අභය භූමියට කළමණාකරණ සැලැස්මක් දවස් තුනක් ඇතුලත හදලා අවශ්‍යයි කියලා.

මම ක්‍ෂේත්‍ර නිලධාරීන්ට වහාම කතා කළා දිනයක් දාගන්න. දවස් දෙකකින් අපි කලමැටිය කාර්යාලයේදී හමුවුනා. රැකව පරිපාලන කටයුතු කරන්නේ කළමැටිය කාර්යාලයෙන්.

කලමැටිය කාර්යාලයේ සාකච්ඡා වටයක් කරලා සවස හයට විතර අපි රැකව අභය භූමියට ගියා. මා සමඟ අඩවි ආරක්ෂක රවීන්ද්‍ර කුමාර, සමුද්‍ර ඒකකයේ අඩවි ආරක්ෂක ප්‍රියන්ත, සමුද්‍ර ඒකකයේ සංවර්ධන නිලධාරී වාසනා හා අඩවි සහකාර දොඩම්ගොඩ යන අය මෙයට සහභාගි වුනා.

අපි කපු හේන්වල, කැස්බෑ බීජෞෂණාගාරයට ගියා. එතැන බීජෞෂණාගාර දෙකක් තියෙනවා. මෙතැනදී ප්‍රධාන වශයෙන්කරන්නේ සොබාවික පොළවේ සාර්ථක වීමට අවස්ථාව අඩු කැස්බෑ බිත්තර ගෙනත් ආරක්ෂිත ප්‍රදේශ තුල කෘත්‍රීමව වලවල් කපලා තැන්පත් කරන එකයි.

මේ රැකව මුහුදුබඩ ප්‍රදේශයේ නිතරම වතුරෙන් යට වෙනවා. කැස්බෑවන් ගොඩක් බිත්තර දැම්මත් බිත්තර දමපු වලකට උඩින් විනාඩි 5ක් වතුර තිබුණොත් බිත්තර නරක් වෙනවා. ඒ වගේම බිත්තර හොරකම් කරන්න පුරුදු වුන මිනිස්සු ඉන්නවා. එයාලා වලවල් හාරලා බිත්තර අරගෙන එක බිත්තරයක් රුපියල් සියයකට විතර විකුණනවා. ඒ වගේම ගෘහාශ්‍රිත බල්ලෝ වලවල් හාරලා බිත්තර ආහාරයට ගන්නවා. ඒ නිසා වනජීවී දෙපාර්තමේන්තුව වලවල් හාරලා බිත්තර තැන්පත් කරලා බලා ගන්නවා.

මේ රැකව අභය භූමිය කිලෝ මීටර් 4.5ක් දිගයි. මුහුදු පහත් උදම් සීමාවේ ඉඳලා මීටර් සියයක දුරින් අභය භූමියගොඩබිම පැත්තටත් මීටර් පන්සීයක දුරක් දක්වා මුහුද පැත්තට දිවෙනවා.

බීජෞෂණාගාරයේදී අපි දුටුවා වලකින් පැටවු එළියට එනවා. පැටවු 7-8ක් ආවා. මුහුද පැත්තට වේගයෙන් ගිහින් වතුරට එකතු වුනා. උන් ප්‍රමාණයෙන් අල්ලක් තරම් විශාලයි. එතකොට වේලාව හවස 7.30ට විතර ඇති.

අපි කපුහේන්වල ඉඳලා දාස්තුන හන්දිය දක්වා පයින් ගමන් කළා මුහුදු වෙරළ දිගේ. සඳ එළිය හොඳින් වැටිලා තිබුණා. වේලාව රාත්‍රී දොළහ පහුවෙනකම්ම අපි ඇවිද්දා. මේ ඇවිදගෙන යනකොට බිත්තර දාන්න ආපු කැස්බෑවෝ දහයක් විතර දැක්කා. අපිට පෙනුනේ මේ දහදෙනා වුනාට තව කොච්චර ඉන්න ඇතිද කියලා හිතුනා.

ජීවිතයේ කවදාවත් මම කැස්බෑවෙකුගේ බිත්තර දානවා දැකලා තිබුණේ නෑ. කැස්බෑවුන් වල හාරනකොට ලං වෙන්න හොඳ නෑ. අපි කැස්බෑවන් බිත්තර දානකොට ලංවෙලා බැලුවා. එක සතෙක් බිත්තර සියයකට වැඩිය දැම්මා.

දාස්තුන හන්දියේ තියෙනවා වනජීවී නිලධාරීන්ට විවේක ගන්න තැනක්.කපුහේන්වල ඉඳලා අපි දාස්තුන හන්දියට ඇවිදගෙන ඇවිත් අපි එතැන විවේක ගත්තා. 

එදා රෑ අපි කලමැටියාව කාර්යාලයේ ඉඳලා සැලැස්ම හැඳුවා. නිදා ගත්තේ නෑ. රවීන්ද්‍ර මහත්තයා තේ හදලා දුන්නා. මේ සැලැස්මේ තියෙන්නේ අධ්‍යක්ෂ ජනරාල් තුමා හදපු සැකැස්මට (Format) දත්ත දාන එකයි සැලැස්මේදී කරන්න තියෙන්නේ. අපිට නිවැරදිව දත්ත දාන්න පුළුවන් වුනා.

පහුවදා උදෑසන අපිට රැකව දල කළමණාකරණ සැලැස්මේ කෙටුම්පත අධ්‍යක්ෂ ජනරාල් තුමා අතට දෙන්න ලැබුණා.

මේ වන විට කළමණාකරණ සැලැස්ම වැඩිදියුණු කරලා ISBN අංකයක් ගන්න ඉල්ලීම් කිරීමේ ක්‍රියාදාමයේ පවතිනවා.

 

රේඛා සංජීවනී රාජසිංහ මහත්මිය

 

රේඛා සංජීවනී රාජසිංහ මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට ඇතුලත් වුයේ 2020 අගෝස්තු 11 වෙනි දින ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙසය. ආරම්භයේදී ඇය සංචාරක සේවා කළමණාකරණ අංශයට අනුයුක්ත කෙරුණි. නමුත් ඇය විද්‍යාත්මක සේවයට ඇතුලත් වන විට මාස 8ක ගැබිණි මාතාවක් වුයෙන් දරුවා ලැබීමට නිවාඩු ලැබීමට සිදු විය. අනතුරුව රටේ ඇති වු කොවිඩ් ව්‍යසන තත්වයන් සමඟ නැවත ඇයට රාජකාරියට වාර්තා කිරීමට හැකි වුයේ 2021 වසරේදීය. පසුව ඇය සමුද්‍ර අංශයට අනුයුක්ත කෙරිනි.

ඇය ශ්‍රී ලංකා රජයට විශ්ව විද්‍යාලයේ විශේෂ විද්‍යාවේදී උපාධිධාරිනියකි. ජෛව විවිධත්වය හා සංරක්ෂණය යන විශේෂ උපාධිය රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් හැදෑරීමට ඇයට හැකි  විනි. උපාධියෙන් දෙවන පෙළ විශිෂ්ඨ සාමාර්ථයන් ලද රේඛා සංජීවනී රාජසිංහ මහත්මිය රජරට විශ්ව විද්‍යාලය තුලට උපපාදනාචාර්යවරියක ලෙස ටික කාලයක් සේවය කොට පසුව එඩ්නා චොකලට් සමාගමේ ක්ෂුද්‍රජීවී විද්‍යාඥවරියක ලෙස සේවය කලාය. අනතුරුව රජයේ සංවර්ධන නිලධාරිනියක ලෙස වසර 7ක් සෞඛ්‍ය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයන්හි සේවය කළාය.

රේඛා සංජීවනී මහත්මිය මුලික අධ්‍යාපනය ලැබුයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයෙනි. මේ වන විට ඇය මාලදිවයින, ඉන්දියාව හා චීනය යන රටවලින් තම රැකියා ජීවිතය සඳහා කෙටිකාලීන පුහුණු ලබා ඇත. එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ සමුද්‍ර අංශයට අමතරව ඇය සංචාරක සේවා කළමණාකරණ අංශය භාර අධ්‍යක්ෂවරිය ලෙසද සේවය කරනු ලබන්නීය. තමන් ආ ගමන දුෂ්කර බවත් නමුත් ඵල සහිත බවත් සංජීවනී මහත්මිය මෙනෙහි කරන්නේ ආත්ම තෘප්තියෙනි.

ඇය මව, පියා, අක්කා සහ මල්ලී සමඟ ආනමඩුව ප්‍රදේශයේ ජීවත් වුවත් විවාහයෙන් පසුව සැමියා හා පුතු සමඟ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව හිටී. සිවිල් ඉංජිනේරු ඩිප්ලොමාධාරියෙකු වන සැමියා එරන්ද ටිකිරි හෙන්නගේ ඇමෙරිකානු සමාගමක් යටතේ දුරස්ථ ක්‍රමයට සේවය කරයි. තවම වයස අවුරුදු හතරක් වන සස්මිත නිර්වාන් පුතා මොන්ටිසෝරියේ අධ්‍යාපනය හදාරයි.ජ

රැකව අභය භූමිය

 

දිවයිනේ රන්වන් වෙරළ තීර අතරින්  සුවිශේෂ වෙරළ තීරයක් ලෙස රැකව වෙරළ තීරය අපට හඳුන්වා දිය හැක. එය මෙලෙස සුවිශේෂි වන්නේ එහි ඇති සුන්දරත්වය නිසාම පමණක් නොව, රැකව වෙරළ තීරයට රාත්‍රි කාලයට පැමි‍ණෙන විශේෂ ආගන්තුක පිරිසක් නිසාමද වේ. මෙම ආගන්තුකයන් නිසා රැකව වෙරළ තීරය සංචාරක ආකර්ශණය දිනා ගත් ස්ථානයක් බවට වර්ථමානය වනවිට පත්ව තිබේ.

 

මෙලෙස රැකව වෙරළ තීරයට පැමිණෙන විශේෂ අමුත්තන්පිරිස වන්නේ වර්ථමානයේ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති  කැස්බෑවන් වේ.  ශ්‍රී ලංකා වෙරළ තීරයකැස්බෑ විශේෂ කිහිපයකට ආකර්ෂණීය ස්ථානයක්වන  බැවින්  ඔවුන් එහි වලවල් හාරා බිත්තර දැමීම සඳහා මෙම වෙරළ තීරය  තෝරාගෙන තිබේ. කැස්‌බෑවුන්ගේ නිජබිමක්‌ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන රැකව වෙරළ තීරය තංගල්ලේ සිට කිලෝමීටර් හතක දුරකින් පිහිටා ඇත. තංගල්ලේ සිට රැකව දක්වා මෙම කොටස කැස්බෑ අභයභූමියට අයත් වේ. මෙම අභය භූමියකිලෝමීටර් තුනක්පමණ දිගකින් යුතු වන අතර මුහුදු පහත් උදම් සීමාවේ සිට මීටර් සියයක් දක්වා ගොඩබිම වෙතටද මීටර් පන්සියයක් දක්වා මුහුද වෙතටද දිවෙන ප්‍රදේශයකි.

රැකව සිට කහන්දමෝදර දක්වා කැස්බෑ කැදලි (Turtle Nests) සහිත වෙරළක් වනඅතර මෙම ප්‍රදේශය සමුද්‍ර කැස්බෑවුන් සඳහා ආහාර බහුල ප්‍රදේශයකි. කැස්බෑ කැදල්ලක් යනු බිත්තර දැමීම සඳහා කැස්බෑ ගැහැණු සතා විසින් සුදානම් කර ගන්නා ප්‍රදේශය හඳුන්වන නාමයයි. කැස්බෑ ගැහැණු සතා මුහුදු වෙරළේ වියළි ස්ථානයකට ගොස් එහි බුරුල් වැලි තම වරලෙන් ඉවත් කරනු ලබයි. අනතුරුව වරලෙන් හාරමින් හා සිරුර කරකවමින් තම සිරුරට සරිලන වලක් සාදා ගන්නීය. එම වල සම්පුර්ණ වූ පසු කෝප්ප හැඩති පිටුපස වරල් සවලක් ලෙස යොදා ගනිමින් බිත්තර දැමීමට කුහරයක් සාදා ගනු ලබයි.

 

මෙලෙස වෙරළ තීරයට පැමිණෙන දුර්ලභ කැස්බෑවුන් ආරක්ෂා කිරීමේ අරමුණින් සමුද්‍ර කැස්බෑ සංරක්ෂණ අඩවියක් ලෙස රැකව වෙරළ තීරය හඳුනාගෙන තිබේ. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑ විශේෂ 7 න් 5 ක්ම ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට ආකර්ෂණය වන බැවින්, කැස්බෑ කැදලි ස්ථාන ආරක්ෂා කිරීම සහ එහි විශේෂ සංරක්ෂණයට සහාය වීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇත. මේ අතර දිවයිනේ රැකව වෙරළ තීරයට බිත්තර දැමීම සඳහා පැමිණෙන ප්‍රධාන කැස්බෑ විශේෂ වන්නේ ඔලුගෙඩි කැස්බෑවාLoggerhead Turtle(Carettacaretta) , ගල් කැස්බෑවාGreen Turtle (Cheloniamydas),පොතු කැස්බෑවාHawksbill Turtle (Eretmochelys imbricate), බටු කැස්බෑවාOlive Ridley Turtle(Lepidochelysolivacea) සහ දාර කැස්බෑවාLeatherback Turtle(Dermochelyscoriacea) වේ . දාර කැස්‌බෑවා,මුහුදු කැස්‌බෑවන් අතර විශාලතම කැස්‌බෑවාද වේ.මෙම කැස්බෑ විශේෂ නිසාම විදේශ සංචාරක ආකර්ෂණය මේ ප්‍රදේශයට නොඅඩුව ලැබෙන බවද කිව යුතුය.

 

කැස්‌බෑවන් සාමාන්‍යයෙන් තමන් උපන් වෙරළටම බිත්තර දැමීමට පැමිණීම සිරිතක්‌ වුයේ මීට අවුරුදු දහස්‌ ගණනකටත් පෙරය. එබැවින් වනජීවී දෙපාර්තමේන්තුව මෙම සමුද්‍ර භූමි ප්‍රදේශයේ  වටිනාකම අවබෝධ කරගත් බැවින් 2006.05.25 වනදින ගැසට් අංක 1446/27 යටතේ එහි හෙක්ටයාර් 271.20 භූමි ප්‍රමාණයක්  අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.මෙය ලංකාවේ ප්‍රථම කැස්‌බෑ අභය භූමියක් ලෙස හැදින්වෙන මෙය වර්තමානයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.

රැකව අභය භූමියේ කැස්බෑ බීජෞෂණ ඒකක 2ක් පිහිටුවා ඇත.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පෞද්ගලික ආයතනයන්හි ප්‍රතිපාදන මත  ලංකා වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වා ගෙන යන කැස්බෑ බීජෞෂණ ඒකක 12ක් පමණ ඇති අතර රැකව වෙරළ තීරයද ඉන් එකකි.මෙම බීජෞෂණාගාර ඒකක කැස්බෑවන් බිත්තර දමන ස්ථාන ආරක්ෂා කිරීම සහ බිත්තර වලින් ආරක්ෂිතව පැටවුන් බිහි කළ හැකි බව සහතික කිරීම අරමුණු කර ගෙන පිහිටුවා ඇත. ඒවායේ පැටවුන් බිහි කිරීමට සූදානම් වන තෙක් සංරක්ෂණ ස්ථානයේ ආරක්ෂිත සීමාවන් තුළ තබා ගනි. කැස්බෑවන් සංරක්ෂණය කිරීම ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ඇති කීරීම සඳහා සුදුසු වටපිටාවක් පවතින ප්‍රදේශයක් ලෙසද මේ වෙරළ තීරය හඳුනාගෙන තිබේ. ඒ අනුව සංචාරකයන් සඳහා කැස්බෑවන් බිජුලන අවස්ථා සජීවීව නිරීක්ෂණය කිරීම,  සංරක්ෂණය කරන ලද කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීම, රාත්‍රී වෙරළ තීරයේ ගමන් කිරීමට අවස්ථාව සලසා දීම හා කඳවුරු බිම් ඇති කිරීම සඳහා ඉදිරියේ දී අවස්ථාව ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

 

වසරේ කැස්බෑවුන් බිත්තර දමන කාලයඅප්‍රේල් සිට ජූලි දක්වා වනබැවින් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය නැරඹීමට හොඳම කාලයඑය වේ. මෙම කාලය තුළඑක් රාත්‍රියකදි කැස්බෑවන් 15 දෙනෙකු පමණ රැකව වෙරළ තීරයට බිජු දැමීම සඳහා පැමිණෙති. ඔක්තෝබර් සිට ජනවාරි දක්වා මාසවලදී, රාත්‍රියේදී කැස්බෑවකු දෙදෙනෙකු පමණක් දැකිය හැකි  නමුත් එයද දුර්ලභ වේ. වෙරළට පැමිණෙන කැස්බෑවන් ප්‍රමාණය තීරණය කිරීමට වෙරළේ ඇති අධික ශබ්ද හෝ ආලෝක දූෂණය වැනි විවිධ සාධක  පදනම්  වේ. වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පනවා ඇති සාමාන්‍ය නීති රීති වලට අනුගත වෙමින් කැස්බෑවුන් නැරඹිය හැකි අතර ඒ සඳහා ප්‍රවේශ ගාස්තු නොමැත .

රැකව සමුද්‍ර අභය භුමිය ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් පිළිගැනෙන්නේ මුහුදු කැස්බෑවන්ගේ ස්වභාවික වාසභූමියක් ලෙස නිරීක්ෂණය කළ හැකි ස්ථාන කිහිපයෙන් එකක් ලෙසය.

රැකව අභය භූමියපිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

சோமாவதிய தேசிய பூங்காதொடர்பான விளக்கத்தில் காணப்படும் விலங்குகளின் பெயர்ப் பட்டியல்

List of animals in the Rekawa Sanctuary

Sinhala Names

Tamil Names

English Names

Botanical Name

ඔලුගෙඩි කැස්බෑවා

பெருந்தலைக் கடலாமை

Loggerhead Turtle

Carettacaretta

ගල් කැස්බෑවා

தோணியாமை

Green Turtle

Cheloniamydas

පොතු කැස්බෑවා

அழுங்காமை

Hawksbill Turtle

Eretmochelys imbricate

බටු කැස්බෑවා

ஒலிவ நிறச் சிற்றாமை

Olive Ridley Turtle

Lepidochelysolivacea

දාර කැස්බෑවා

பேராமை

Leatherback Turtle

Dermochelyscoriacea

සංස්කාරක– දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,

මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව      

දෙමළ පරිවර්තනය-ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය- අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම-සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ, කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පුබුදු ප්‍රසන්න , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව